Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2022 15:36:58 Hours

73 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රික ආශීර්වාද ‘පිරිත් සජ්ඣායනයක්’

ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ගෞරුතර මහා සංඝරත්නය භක්ත්‍යාදරයෙන් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත වැඩම කරවීමෙන් සිකුරාදා (07) දින බුද්ධාලම්භන ප්‍රීතියෙන් පැවැත්විණි.

යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් පැවැත්වෙන ආගමික උත්සවයන්හී අවසන් අංගය වශයෙන් පැවැත්වෙන මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනය, මිරිසවැටිය විහාරස්ථානයේ විහාරාධිපති සහ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපාණන් විසින් මෙහෙයවන ලදී. එමෙන්ම, මෙම අවස්ථාවට පොල්හේන්ගොඩ ඇලන් මෙතිනියාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිපාණන්, මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලහහැංගුණුවැවේ ධම්මරතන හිමිපාණන් සහ තවත් ගරුතර භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩම කළහ.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සාම්ප්‍රදායික බෙර වාදකයින් සහ කොඩි දරන්නන් විසින් පෙරටු කරගත් වර්ණවත් පෙරහැරකින් එම භික්‍ෂුන් වහන්සේලා පිරිත් මණ්ඩපය වෙත ඉතා ගෞරවයෙන් යුක්තව වැඩම කරවීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉමහත් භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව අලංකාරවත් ලෙස සකස් කර තිබූ පිරිත් මණ්ඩපය වෙත ධාතු කරඬුව වැඩම කරවූ අතර යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පිරුවානා පොත් වහන්සේ වැඩම කරවීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

භික්‍ෂුන් වහන්සේලා පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පුරාණ බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව මහා සංඝරත්නය වෙත දැහැත්වට්ටිය පිළිගන්වමින් යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනය වෙනුවෙන් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සඳහා ආරාධනා කරන ලදී.

මෙම අවස්ථාව වෙනුවෙන් වැඩමවා වදාළ මහා සංඝරත්නය වෙනුවෙන් මිරිසවැටිය විහාරස්ථානයේ විහාරාධිපති සහ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපාණන් විසින් අනුශාසනාවක් පවත්වමින් යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයේ ඇති වැදගත්කම සහ ජාතිය වෙනුවෙන් යුද්ධ හමුදාව සිදුකළ කෘතහස්ත සේවය පිළිබඳ පැහැදිලි කළේය.

මෙම පිංකම සංවිධානය කිරීමේ කටයුතු සඳහා යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ අනෙකුත් ශාඛාවන්හී නිලධාරින් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ඒ සඳහා සියලු නිලයන්ගේ සහයෝගය හිමිවූහ.

මහා සංඝරත්නය උදෙසා සෙනසුරාදා (08) දින උදෑසන සාංගික ‘හීල් දානය’ පිරිනැමීමෙන් අනතුරුව බෞද්ධ ආගමික උත්සවය සමාප්තියට පත්විය. එම හීල් දානය පූජා කිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ජානකී ලියනගේ මැතිණිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.