Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2022 13:14:20 Hours

73 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව රණවිරු ස්මාරකය අභියස දී මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී බ්‍රහස්පතින්දා (06) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.

ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් පැවැත්වෙන මෙම රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූවේය.

මියගිය රණවිරුවන්ගේ ආදරණීය මතකයන් අමරණීයව සලකා කෘතගුණ දක්වන ප්‍රමුඛ අංගයක් වන අතර එය යුද්ධ හමුදාව විසින් මෙම විශිෂ්ඨ උපහාරය පුදකරනු ලබයි. මීට වසර 13 කට ප්‍රථම අප වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රස්තවාදය තුරන් කරමින් රට එක්සේසත් කිරීමට දැක්වූ නිර්භීත දායකත්වය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙනුවෙන් සෑම වරසකම යුද්ධ හමුදා සංවත්සර දිනයට සමාගාමීව උපහාර උත්සවයක් පවත්වනු ලබයි. රට තුළ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් තම වටිනා ජීවිත පරිත්‍යාග කළ දහස් සංඛ්‍යාත රණවිරුවන්ගේ අසමසම වීරත්වයට යුද්ධ හමුදාව වෙතින් දක්වනු ලබන ගෞරවාචාරය සංකේතවත් කරමින් මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වේ.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට ගෞරව දැක්වීම පිණිස පවත්වනු ලබන මෙම රණවිරු සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කෙරිණි. එහිදි, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී. 2009 මැයි මාසයට ප්‍රථම දශක තුනක පමණ කාලයක් පැවති රුදුරු ත්‍රස්තවාදය පරාජයට පත්කරමින් වීරෝදාර රණවිරුවන් සිදුකළ අපරිමිත කැපකිරීම සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරන ලදී.

මෙම පුෂ්පෝපහාර පුදකිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව සියලු යුද්ධ හමුදා සාමාජිකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, බළලත් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් විසින් දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළහ.

ඉන් අනතුරුව, හිරු නැගෙනා මොහොතෙදිත් හිරු බසිනා මොහොතෙදිත් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් වෙනුවෙන් හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.

මව්බිමේ එකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුදකිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරින් පිරිසක් ද එක්වූහ.