Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2022 18:40:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර සැමරුමට ආශීර්වාද එක් කිරීමේ තෙවන ආගමික වැඩසටහන ශ්‍රී දළදා මාලිගාවේදී ඇරඹේ

ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ තෙවන ආගමික උත්සවය අද (28) දින පෙරවරුවේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාරීරික සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික උත්සවය පැවැති අතර, ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රය වෙත පෙරවරු 9.15 ට පමණ පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එම්.කේ.එස්. සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.එස්.කේ. සංජීව ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, පිරිස් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

‘ජාතියේ රැකවරණය’ ලෙස ඉමහත් ප්‍රශංසාවට සහ ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, ස්වේච්ඡා බලසේනාව, සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක, බලසේනා, සියලුම රෙජිමේන්තු, පුහුණු මධ්‍යස්ථාන සහ දිවයින පුරා ස්ථාපිත ඒකකයන්වල වර්ණවත් ධජයන් රැගත් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ එම අංශයන් නියෝජනය වන පරිදි යුද්ධ හමුදා නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් මහත් අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රධාන දොරටුව අසල සිට දළඳා මාලිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටින ගන්ධ කුටිය සහ පත්තිරිප්පුව වෙත ඉතා ශ්‍රද්ධා සිතින් යුතුව පැමිණියහ.

යුද්ධ හමුදාවේ ප්‍රධානියා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සංකේතාත්මකව යුද්ධ හමුදා ධජය ආශිර්වාද එක්කිරීම සඳහා පෙරහැරේ ඉදිරියෙන් රැගෙන යනු ලැබීය. ආගමික වතාවත් මධ්‍යයේ සෙත් පිරිත් සජ්ඣායනා කර රට ආරක්‍ෂා කිරීම උදෙසා කැපවු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට ආශිර්වාද එක් කරමින් තේවාව භාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් ධජයන්ට සෙත් පැතීය. ඉන් අනතුරුව, එක් එක් අංශයන් නියෝජනය කරමින් එම අවස්ථාවට එක් වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ධජයන් භාරගන්නා ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් අභිමුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළඳා මාලිගාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පිළිගන්වනු ලැබූ මූල්‍යමය පරිත්‍යාගය ගන්ධ කුටියේ ආගමික වතාවත් පැවැත්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමිපාණන් විසින් පිළිගනු ලැබීය. එහිදී, එම හිමිපාණන් විසින් අනුශාසනාවක් සිදුකරමින් මව්බිමේ අභිවෘද්ධිය උදෙසා යුද්ධ හමුදාව වෙතින් දශක තුනක් පුරාවට සිදුකළ කැපවීම සහ පසුගිය කාලසීමාවේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් හමුවේ යුද්ධ හමුදා සාමාජිකයින් කැපවීමෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ සිහිපත් කළේය.

මෙම ආගමික උත්සවයේ සියලු කටයුතු සහ මෙම ආශිර්වාද උත්සවයේ දෙවන අදියර මහනුවර, පල්ලෙකැලේ පිහිටි 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී දළඳා මාලිගාවේ පහළ මහලේ පිහිටි බුද්ධ මන්දිරයට ගිලන්පස සහ බුද්ධ පූජාව පූජාකිරීමෙන් අනතුරුව දානය පූජා කිරීම සඳහා භික්‍ෂූන් වහන්සේලා පෙරහැරකින් වඩම්මනු ලැබූහ. එහිදී, පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමිපාණන් විසින් අනුශාසනාවක් සිදුකරමින් යුද්ධ හමුදාවේ 73 වසරක අභිමානවත් ඉතිහාසය පිළිබඳ පැසසුමට ලක්කළ අතර දේශයේ යහපත උදෙසා ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් පිළිබඳව ද ආවර්ජනය කරන ලදි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සර දිනයට ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ ආගමික උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ නිලධාරින් සහ සෙසුනිලයන් විසින් ගෞරවනීය මහා සංඝරත්නය වෙත ‘පරිස්කාර’ පූජා කරනු ලැබූහ.

මාතෘභූමියේ ආරක්‍ෂාව උදෙසා රටේ ප්‍රධානම ආරක්‍ෂක හමුදාව ලෙස නිර්භිතභාවයෙන් අසීමිත කැපකිරීම් සිදුකර වර්තමානයේ ජාතික ආරක්‍ෂාව හා ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයේ නියැලී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 දින ආරම්භ කරන ලදී. 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව මහා බ්‍රිතාන්‍යයේ අර්ල් ඔෆ් කිත්නස් (Earl of Caithness) බ්‍රිගේඩියර් රොඩ්රික් සින්ක්ලෙයර් ගේ (Brigadier Roderick Sinclair) අණදීම යටතේ ලංකා හමුදාව සිය පළමු නිත්‍ය බලකාය පිහිටුවන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෙවීගිය වසර 73 ක සාඩම්බර ඉතිහාසයට යුද්ධ හමුදාධිපතිවරුන් 24 දෙනෙකු අණදීම සිදුකර ඇති අතර යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා එය මහත් පිටුවහලක් විය. පාබල, ආධාරක සහ සේවා වශයෙන් රෙජිමේන්තු 25 ක් සමඟින් එහි ව්‍යාප්තිය තම ජීවිත පරිත්‍යාග කරමින් සියලු දෙනාටම වඩාත්ම ජනතා හිතකාමී ආරක්‍ෂාවේ සැපයුම්කරු ලෙස යුද්ධ හමුදාව රට පුරා සිටින සියලුම ජනවර්ගවල හදවත් දිනාගෙන ඇත.