Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th September 2022 17:01:46 Hours

73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ හින්දු ‘ආශිර්වාද’ පූජාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනයට සමගාමීව හින්දු භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්‍ර වූ සහ පිළිගත් පූජාවක් ලෙස සැලකෙන හින්දු ‘ආශීර්වාද’ පූජාව කොළඹ 06 මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන් කෝවිලේ දී පසුගිය සඳුදා (26) දින පස්වරුවේදී පැවැත්විණි.  

ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු සංගමය විසින් සංවිධානය කරන ලද හින්දු ‘ආශීර්වාද’ පූජා උත්සවය, ආගමික වතාවත් හා චාරිත්‍රානුකූලව කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර, එහිදි යුද්ධ හමුදා ධජයන්ට ආශීර්වාද කරන ලදි.  

යුද්ධ හමුදා හින්දු සංගමයේ ආරාධනයෙන් එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදාවට ආශිර්වාද පතා යුද්ධ හමුදා ධජය කෝවිල් මන්දිරය තුල තැන්පත් කිරීම සඳහා කෝවිලේ පූජකතුමන්ලා වෙත පිළිගැන්වීය.  

කෝවිලේ ප්‍රධාන කුරුක්කල් ශිවශ්‍රී උදයරාගවා ඇතුළු පිරිසකගෙන් සමන්විත හින්දු පූජකවරුන් පිරිසක් විසින් හින්දු ආගමික පූජා වතාවත් සිදුකර 73 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාවට ආශීර්වාද එක් කළේය.  

එහිදි හින්දු සම්ප්‍රදායානූකූලව දෙවිවරුන් වෙත පළතුරු, ගිතෙල් සහ මල්මාලා ආදිය පූජා කර ‘ආශීර්වාද’ පූජාව පවත්වන ලද අතර, එහිදී යුද්ධ හමුදාපතිතුමන් විසින් යුද්ධ හමුදා ධජය මත පිච්ච මල් අතුරා යුද්ධ හමුදාව වෙත දේව ආශිර්වාදය එක්කළේය.  

ආගමික පූජා වතාවත්වලින් පසුව යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාවට ආශීර්වාද පතා හින්දු කෝවිලේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය අනුග්‍රහකත්වයක් දැක්වීය. මෙම හින්දු ආගමික ජූජා උත්සවය ප්‍රධාන පූජක කුරුක්කල් ශිවශ්‍රී උදයරාගවා සමග එක්ව යුද්ධ හමුදා භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා හින්දු සංගමයේ සභාපති මේජර් ජෙනරල් ලාල් විජේතුංග ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම ආශිර්වාද පූජාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා හින්දු සංගමයේ සාමාජිකයින් සහ හින්දු භක්තික සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.