Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th September 2022 18:52:27 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත්පැතීමේ ආශිර්වාද පිංකම ජය ශ්‍රී මහා බෝ සමිදු අභියසදී

ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි තිබෙන 73 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන්ට සෙත්පතමින් සිදුකරනු ලැබූ ආගමික උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් රැසකගේ සහභාගිත්වයෙන් සම්බුදු රජාණන් වහන්සේ හට බුද්ධත්වය ලබා ගැනීමේදී සෙවණ සළසාලූ දෙව්බඹුන්ගේ පූජෝපහාරයට පාත්‍ර වූ ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුරයකින් රෝපිත අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පසුගිය සෙනසුරාදා (24) දින පැවැත්විණි.

එහිදී යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සිදුකරනු ලබන බෞද්ධ ආගමික වතාවත් මාලාවේ දෙවන අධියර වශයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී බුදුන් වහන්සේගේ ‘පාරිබෝගික’ ධාතු වන්දනාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගෞරව පූර්වකව, උතුරු මැද පළාතේ සංඝනායක සහ අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව දැහැත් වට්ටියක් සමඟින් අටපිරිකර පූජාකර උඩමළුවේ පැවැත්වෙන යුද්ධ හමුදාවට සෙත්පැතීමේ ආගමික වතාවත් සඳහා අටමස්ථානාධිපති නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරන ලදී.

ඉන් පසුව, පහල වැලි මළුවේ වර්ණවත් යුද්ධ හමුදා ධජ රැගත් හමුදා සාමාජිකයින් මහත් භක්තියෙන් යුතුව රැදී සිටි අතර, එම අවස්ථාවට සම්ප්‍රදායික ‘හේවිසි’ හා ‘මගුල් බෙර’ වාදන මධ්‍යයේ පෙරහැරකින් මහා සංඝරත්නය ධජ සඳහා ආශිර්වාද කිරීමට උත්තරීතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩවසන ඉහල මළුව වෙත වැඩම කරනු ලැබූහ.

අනතුරුව, සිරිත් පරිදි යුද්ධ හමුදා මූලස්ථානය, ස්වේච්ඡා බලසේනා මූලස්ථානය, සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන, සියලු ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථාන, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජ රැගත් එම යුද්ධ හමුදා සාමාජිකයින් ජය ශ්‍රී මහා බෝධියේ පහල වැලි මළුව වටා තෙවරක් සක්මන් කොට මැද මළුවේදී එම ධජයන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත භාරදුන්හ. ඉන් පසුව සම්ප්‍රදානුකූලව යුද්ධ හමුදාධිපතිතුමන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් බැතිබරව යුද්ධ හමුදා ධජයන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වටා තැන්පත් කරන ලදී.

එහිදී, ගරුතර මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කොට සියළු යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද එක් කළ අතර, ශ්‍රී මහා බෝ සමිඳුන් වටා පිච්ච මල් සහ නෙළුම් මල් ඇතිරූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රට රකින සියලු යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ආශීර්වාද පතා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්වහන්සේ වන්දනා කරනු ලැබිණි.

මෙම ආගමික උත්සවයේදී ලංකාරාම රජමහා විහාරාධිපති අතිපූජ්‍ය රලපනාවේ ධම්මජෝති නාහිමියන් විශේෂ අනුශාසනාවක් සිදුකරමින් මාතෘ භූමිය වෙනුවෙන් යුද්ධ හමුදාවේ දායකත්වය සහ කැපවීම සේවය මහත් අභිමානයෙන් යුතුව සිහිපත් කළේය.

මෙහිදී, ආගමික වතාවත් සිදුකර ආශීර්වාද එක් කිරීම සඳහා රුවන්වැලිසෑය විහාරාධිපති අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමි, ශ්‍රී ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගතැන්නේ පඤ්ඤානන්ද නායක හිමි, මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි, ලංකාරාමය විහාරාධිපති පූජ්‍ය රළපානවේ ධම්මජෝති හිමි, ජේතවනාරාම විහාරාධිපති ඉහළ හල්මිල්ලෑවේ රතන හිමි, අභයගිරිය විහාරාධිපති ආචාර්ය කල්ලන්චියේ රතන හිමි, ථූපාරාම විහාරාධිපති කහල්ලේ ඥානරතන හිමි ඇතුළු විහාරස්ථාන නියෝජනය කරමින් මහා සංඝරත්නය වැඩම කරනු ලැබූහ.

එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශාසනාභිවෘද්ධිය උදෙසා මූල්‍යමය පරිත්‍යාගයක් අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් වෙත මහත් භක්තියෙන් යුතුව පූජා කරනු ලැබීය.

ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 73 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් පැවැත්වූ දෙවන ආගමික වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූහ.