Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2022 16:16:41 Hours

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ දිය පන්දු ශුරතාවලිය - 2022 ශූරතාවය සාරථකව අවසන්

යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුව වෙතින් විවෘත සහ ආධුනික කාණ්ඩ යටතේ සංවිධානය කරනු ලැබූ ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ දින පන්දු ශුරතාවලිය - 2022’ තරඟාවලිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කණ්ඩායම් 11 ක සහභාගීත්වයෙන් පැවති අතර එම තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය බදාදා (21) දින පවත්වන ලදී.

පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් පිහිනුම් තටාකයේදී පැවති මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරින් විසින් විනිශ්චය කරනු ලැබූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටු උපසභාපති බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා විසින් අවසන් තරඟයේ ජයග්‍රාහකයින් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබූහ. එම තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් උපහාර උත්සවයක් ඔක්තෝබර් මස 25 දින පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරඟාවලියේ ආධුනික කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායම සතුවිය. එමෙන්ම, විවෘත කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කණ්ඩායමටත් අනුශූරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායටත් හිමිවිය.