Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සින්නවත්ත ප්‍රදේශයේ වැසියන්ට වියළි සලාක පරිත්‍යාග කරයි

23 වන සේනාංකය යටතේ ස්ථාපිත 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ උපදෙස් මත 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මඩකලපුව, සින්නවත්ත ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 116 ක් වෙත වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (15) දින ක්‍රියාත්මක කරන ලදී.

එම ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් මුහුණපා ඇති ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව 231 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණය මත විදේශගතව සිටින සුරංග පුෂ්පකුමාර මහතා ඇතුළු විදේශගත තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමෙන් අනතුරුව සහල්, පරිප්පු, සෝයාමීට්, පිටි, ධාන්‍ය වර්ග, කුළුබඩු, කරවල ආදියෙන් සමන්විත වූ රුපියල් 6000/= ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදි.

මෙම වැඩසටහන සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති, 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එම්.ඩබ්ලිව්.එම්. උදයකුමාර ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.