Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කමාන්ඩෝ භටපිරිස් වියළි සලාක පරිත්‍යාග කරයි

කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි ගේ සම්බන්ධීකරණය හා විදේශගත ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හම්බන්තොට, ගල්වැව විහාරස්ථානයේ භික්‍ෂූන් වහන්සේලා හා අඩු ආදායම්ලාභී පවුල් 205 ක සිවිල් වැසියන් වෙනුවෙන් වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (12) දින ක්‍රියාත්මක කරන ලදී.

ගල්වැව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් හට පිණ්ඩපාතයේ වඩින භික්‍ෂුන් වහන්සේලා වෙත දානය පූජාකිරීමට ඇති අපහසුතා හේතුවෙන් එම භික්‍ෂූන් වහන්සේලා වෙත වතුර වීදුරුවක් පූජාකරන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය පුවතකට ප්‍රතිචාර දක්වමින් කමාන්ඩෝ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි සහ 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව සීමාසහිත ‘Ooredoo Qatar’ සමාගමේ ප්‍රධාන ගණකාධිකාරී ජේ.එච්. ඒකනායක මහතා විසින් එම වියළි සලාක පාර්සල් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. ගල්වැව පුරාණ රජමහා විහාරස්ථානයේ දී පැවති මෙම වැඩසටහනේදී භික්‍ෂූන් වහන්සේලා වෙත වියළි සලාක පාර්සල් පූජා කළ අතර එමෙන්ම අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ට ද මෙම අවස්ථාවේදී වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජනක සමරසේකර සිය සහයෝගය දැක්වීය.

මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලී ජේ.එච්. ඒකනායක මහතා, 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් තුෂාර කැකුලාවල, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ‘බී’ කාණ්ඩයේ භටපිරිස් සහ තවත් සෙසුනිලයන් පිරිසක් එක්වූහ.

එහිදී, සහල්, පරිප්පු, ළූණු, සීනි, බිස්කට්, සෝයා මීට් සහ කුළුබඩු ආදියෙන් සමන්විත එකක වටිනාකම රුපියල් 2000/= පමණ වන වියළි සලාක පාර්සල් ප්‍රතිලාභීන් වෙත පරිත්‍යාග කළහ.