Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th June 2022 10:50:11 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වෙත එම බලසේනා මූලස්ථානයේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 33 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (23) දින එම බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන එම බලසේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් (පාලන) බ්‍රිගේඩියර් සුසන්ත ජයමාන්න විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ භටපිරිස් විසින් එතුමන් වෙත සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් තුසිත සිල්වා විසින් දේශාභිමානී ගී තනු වාදනයන් මධ්‍යයේ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා නික්ම යන නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය.

පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිමානවත් වූ ඉතිහාසයේ නොමැකෙන පරිච්ඡේදයක් සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන විසින් 31 වන නියෝජ්‍ය සේනාවිධායක වශයෙන් එම ධූරයේ රාජකාරි හෙබවූ කාලසීමාව තුළ සිය මතකයන් පිළිබඳව සිහිපත් කරන ලදී. අනතුරුව එතුමන්ගේ ඡායාරූපයක් නිරාවරණය කිරීමෙන් පසුව එම මූලස්ථාන කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනීසිටිමට එක්විය.

මෙම අවස්ථාවේදී නික්ම යන නියෝජ්‍ය සේනාවිධායකකුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී සේනාවිධායකතුමන්, විශ්‍රාම දිවියට පාතබන මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන වෙත කෘතවේදීත්වය සහ ප්‍රශංසාව පිරිනැමූහ.

අනතුරුව, නික්ම යන නියෝජ්‍ය සේනාවිධායකතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සියළු භටපිරිස් අමතමින්, තම ධූර කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා තමන් සමඟ රාජකාරි සිදුකරනු ලැබූ ස්වේච්ඡා බලසේවේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් වෙත සිය ස්තුතිය පුද කරන ලද අතර, පසුව එහිදී එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහක් සඳහාද එක්විය.

උත්සවය අවසානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සියළුම නිලධාරින් සහ සෙසුනිලයින් විසින් ප්‍රධාන දොරටුව දක්වා ඇති මාර්ගය දෙපස සිට නික්ම යන නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත ගෞරවාචාරය පුදකළහ.