Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලක් වෙනුවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 551 වන බලසේනාවේ භටපිරිස් විසින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් පේදුරුතුඩුව, පුලෝලි ප්‍රදේශයේ ජීවත්වන හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වෙත නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය බදාදා (27) දින මුල්ගල් තබන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් සහ 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න හා 551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ ගේ අධීක්‍ෂණය මත ‘මානව හිතවාදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව’ ව්‍යාපෘතිය යටතේ 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ඉදිකරනු ලබන මෙම නිවස සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වය රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන විශ් නඩරාජා මහතා විසින් ලබාදෙනු ලබයි.

ආරක්‍ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර පවතින සහජීවනය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය වෙතින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

2009 මැයි මාසයට පෙර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ සිදුකළ මානුෂීය මෙහෙයුමේදී තුවාල ලැබු තංගරාසා ධර්මරානී මහත්මිය සහ කුමාරකුලසිංහම් ප්‍රශාන්තන් මහතා දැඩි දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටි අතර, එම තත්ත්වය පිළිබඳ දැනුවත් වූ යුද්ධ හමුදා භටපිරිස් ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින් ඔවුන් පිළිබඳ 55 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 551 වන බලසේනාවේ බලසේනාධිපති දැනුවත් කළහ.

ඒ අනුව පේදුරුතුඩුව, පුලෝලි ප්‍රදේශයේ ඉදිකරනු ලබන මෙම නව නිවස සඳහා 551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ විසින් මූල්ගල් තැබූ අතර එම අවස්ථාවට පේදුරුතුඩුව සහකාර පොලිස් අධිකාරී, පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ඇතුළු ආරාධිතයින් කිහිපදෙනෙකු සහභාගී වූහ. හින්දු සම්ප්‍රදායානුකූලව පැවති නව නිවස විවෘත කිරීමේ උත්සවය සඳහා නිවාසලාභී පවුලේ සාමාජිකයන් ද එක්වූහ.