Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය අර්ධද්වීපයේ ඉදිකළ නව CIMIC උද්‍යානය මහජනතාවට පරිත්‍යාග කෙරේ

සිවිල් වැසියන් සහ යුද්ධ හමුදාව අතර පවතින සුහදත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානය විසින් සිවිල් ජනතාවට ක්‍රීඩා, විනෝදාස්වාදය සහ අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කිරීම වෙනුවෙන් ඉදිකරනු ලැබූ CIMIC උද්‍යානය ඉරිදා (08) දින කෝපායි ප්‍රදේශයේ පැවති උත්සවයකදී යාපනය ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ජනසතු කරන ලදී. මෙහි සමාරම්භක උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය.

පේදුරුතුඩුව හාර්ට්ලි විද්‍යාලයේ උප විදුහල්පති ලෙස කටයුතු කළ දිවංගත ජේ.එස්. රාජරත්නම් මහතාගේ පවුලේ සාමාජිකයින්ගෙන් සහ තවත් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ දානපතියන්ගෙන් ලද මූල්‍ය අනුග්‍රාහකත්වය හා යුද්ධ හමුදාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම මත 51 වන සේනාංයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ විසින් මෙම නව CIMIC උද්‍යානය ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් නව CIMIC උද්‍යානය විවෘත කිරීමෙන් අනතුරුව එතුමන් විසින් මෙම උද්‍යානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. මෙම නවීන පහසුකම්වලින් සමන්විත උද්‍යානයේදී තරුණ පිරිස් සඳහා ශාරීරික පුහුණු ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා ශක්තිවර්ධක ව්‍යායාම ඒකකයක්, විවේක ගැනීම හා විනෝදාස්වාදය ලබාගැනීමේ පහසුකම්, ගෘහස්ථ පාපන්දු ක්‍රීඩා පිටි පහසුකම්, ළමුන් සඳහා පුස්තකාලයක් සහිත අධ්‍යාපනික ආධාරක ඒකකයක්, සෞඛ්‍ය සහ වෛද්‍ය ආධාර ඒකකයක්, සංස්කෘතික ප්‍රසංග සඳහා විනෝදාත්මක ක්‍රියාකාරකම් සිදුකිරීමේ පහසුකම් සහ තරුණයින්ට දැනුම හුවමාරු කරගැනීම සඳහා පහසුකම් සැලසේ.

නව උද්‍යානය විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ තරුණ තරුණියන් විසින් පිටිය උණුසුම් කරමින් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ඉදිරිපිටදී සිය දක්‍ෂතා ප්‍රදර්ශනය කරමින් ගෘහස්ථ පාපන්දු තරඟයක් පැවැත්වූහ.

ප්‍රදේශයේ සිවිල් ජනතාව සහ යුද්ධ හමුදාව අතර බැඳීම් සහ සුහදත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් නිර්මාණය කළ බහුමාධ්‍ය ක්‍රීඩා උපකරණ වලින් සමන්විත මෙම උද්‍යාන පරිශ්‍රයේ ඇවිදින මන්තීරු ‘ටෙරා-කොටා’ යොදා නිර්මාණය කර ඇත. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් වන Ready - සූදානම, Reliable - විශ්වාසය, Relevant - අර්ථාන්විත, Resilient - නම්‍යශීලී සහ Respectable - ගෞරවනිය යන 5 R සංකල්පය සාක්‍ෂාත් කරමින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන සිවිල් ජනතාවගේ විනෝදාස්වාදය සහ විවේකය අර්ථාන්විතව ගතකිරීමට මෙම CIMIC උද්‍යානයෙන් පහසුකම් සැලසේ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’ ට සමගාමීව යුද්ධ හමුදාවේ ප්‍රමිතීන් වැඩිදියුණු කිරීමට සහ ‘රටේ සහ ජනතාවගේ ආරක්‍ෂකයින්’ ලෙස රටේ එක් එක් ප්‍රදේශයන්හී අවශ්‍යතා සහිත ජනතාවට ලබාදෙනු ලබන සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. එහිදී, ප්‍රධාන වශයෙන් ජාතිය ගොඩනැඟීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට ප්‍රමුඛත්වයක් ලබාදෙනු ලබයි.

යුද්ධ හමුදාව සහ මහජනතාව අතර විශ්වාසය ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස තරුණ තරුණියන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර ‘සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කිරීමේ ප්‍රවණතාවයක් ඇතිකිරීම සහ සියලු පුද්ගලයින්ට සිය කායික හා මානසික යහපැවැත්ම වැඩිදියුණු කරගැනීමට ඉඩප්‍රස්ථාව සලසාදීම’ අරමුණු කරගනිමින් 2021 නොවැම්බර් මස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

මේ අතර, පසුගිය වසරේ රිය අනතුරකින් ස්වාමිපුරුෂයා අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන ආර්. දයාපරන් මහත්මිය වෙත සංගිලි උතුර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නිවස සංකේතාත්මකව පවරාදීම ද යුද්ධ හමුදාපතිතුමන්ගේ සුරතින් සිදුකරනු ලැබීය. යාපනය ප්‍රදේශයේ වෙසෙන දානපති වාමදේව ත්‍යාගේන්ද්‍රන් මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 511 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හී තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තබන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 20 දෙනෙකු වෙත ආරාධනා කර ඔවුන් වෙත පාසල් පාවහන් බෙදාදීම ද ප්‍රධාන ආරාධිත අමුත්තා ගේ සුරතින් සිදුකරන ලදී.

මෙම උත්සව මාලාව සඳහා 51 වන සේනාංක මූලස්ථානය වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සපැමිණි අවස්ථාවේදී එම සේනාංකයේ ප්‍රධාන දොරටුව අභියස දී කඳවුරු සම්මාන මුරය පසුකර යෑමේ (Drive pass) ගෞරවාචාරය පුදකරනු ලැබූහ. පසුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විසින් 51 වන සේනාංකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

මෙම උත්සවය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් වින්දිත මාහින්කන්ද, 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උදය හේරත්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ.