Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2022 15:45:53 Hours

සන්නද්ධ බුද්ධි බළකායේ 29 වැනි සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සමරයි

සන්නද්ධ බුද්ධි බළකායේ 29 වැනි සංවත්සර සැමරුම සහ සන්නද්ධ බුද්ධි බළකායේ යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ ගුණානුස්මරණය කිරිම අද (21) දින අම්බලන්ගොඩ කරන්දෙණියේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථානයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර, එතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කරන ලදී. 

සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථානය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කළේය. පසුව එතුමන් සන්නද්ධ බුද්ධි බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සුරේෂ් සලෙයි විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. අනතුරුව භටපිරිස් ඇමතීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන ශාලාව වෙත කැටුව යනු ලැබීය.

සන්නද්ධ බුද්ධ බලකා කොනොනි සමාජ ශාලාවේ පැවති යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශණය සඳහා දිවයිනපුරා ස්ථාපිත සියලු බලඇණි නියෝජනය කරමින් සන්නද්ධ බුද්ධ බලකා නිලධාරීන් සහ සෙසුනිලයන් 300 දෙනෙකුට අධික පිරිසක් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ. දේශණය ආරම්භ කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට නව වසර වෙනුවෙන් සුභ පැතුම් පිරිනැමූහ.

දේශනය අවසානයේදී, සන්නද්ධ බුද්ධි බලකා කර්නල් සේනාවිධායක විසින් සංවත්සර දිනය වෙනුවෙන් එම මූලස්ථානය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත කෘතඥතාව පළ කරමින් විශේෂ සමරු තිළිණයක් පිරිනැමීය.

ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන මූලස්ථාන පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවූ අතර, එහිදි ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි ඉංජිනේරු භටපිරිස් සමඟ ද අදහස් හුවමාරු කරගත් හෙතෙම ඔවුන්ට අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය. පසුව සමූහ ඡායාරූපයකට එක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සන්නද්ධ බුද්ධි බලකා කර්නල් සේනාවිධායකගේ ආරාධනයෙන් එම සංචාරය සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව සන්නද්ධ බුද්ධි බලකා රණවිරු ස්මාරකය අභියස පැවති 'ස්මාරක පෙළපාලිය', සඳහා සන්නද්ධ බුද්ධි බලකා කර්නල් සේනාවිධායක සහ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ ආරාධනයකට අනුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

එහිදි ජාතික ගීය, යුද්ධ හමුදා ගීතය සහ සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු ගීතය අනුපිළිවෙලින් ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ආගමික වතාවත්වල නිරත වූහ.  

එම අවස්ථාව සඳහා සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජීවා නෙල්සන් මැතිණිය ඇතුලු සම්භාවනීය අමුත්තන් පිරිස සන්නද්ධ හමුදා බුද්ධි බලකායේ මව්බිම වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් 69 දෙනෙකු සිහිකරමින් පැවති විනාඩි දෙකක නිශ්ෂබ්දතායක් සඳහා එක් වූහ. එහිදි එල්ටීටීඊ ත්‍රස්තවාදය උග්‍ර වූ සමයේ, මාතෘභූමියට සාමය උදාකරදීම වෙනුවෙන් සන්නද්ධ බුද්ධි බලකායේ වීරෝදාර රණවිරුවන් කළ නිර්භීත ක්‍රියා සහ කැපවීම් සිහිපත් කරමින් ඔවුන්ගේ වීර වික්‍රමයන් ඇගයීමට ලක් කළේය.

අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2009 මැයි මාසයට පෙර එල්.ටී.ටී.ඊ. කුරිරු ත්‍රස්තවාදී ක්‍රියා සාර්ථකව අවසන් කිරීමට පරාර්ථකාමීව දායක වූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් සන්නද්ධ බුද්ධි බලකා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් ස්මාරකය අභියස පහන් දල්වා දිවිපිදු වීරෝදාර රණවිරුවන්ට ගෞරවාචාරය කළේය. පසුව සන්නද්ධ බුද්ධ බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් එක්ව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබූහ.

මෙම වැඩසටහන් මාලාව සඳහා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය මනෝරි සලේ මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.