Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2022 21:06:55 Hours

අභාවප්‍රාප්ත පළමු ගුවන් හමුදාධිපතිතුමන්ගේ දේහයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අවසන් ගෞරව දක්වයි

ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබු අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් (විශ්‍රාමික) ගේ දේහයට අද (19) දින පෙරවරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අවසන් ගෞරව දැක්විය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසු වත්මන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස හඳුන්වන එවකට රාජකීය ලංකා ගුවන් හමුදාවේ 4 වන ගුවන් හමුදාධිපති ධුරය එතුමන් විසින් හෙබවිය. එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් (විශ්‍රාමික) FBIM, idc, psc, qfi ඉකුත් අඟහරුවාදා (18) දින අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් (විශ්‍රාමික) ගේ ජීවදත්ත තොරතුරු පහතින් දැක්වේ.

‘පැඩී මෙන්ඩිස්’ ලෙසින් ප්‍රචලිත එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් (විශ්‍රාමික) වර්ෂ 1933 ජනවාරි මස 24 වන දින උපත ලැබුවේය. එතුමන් වර්ෂ 1951 අගෝස්තු මස 8 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ බඳවා ගැනීම් කණ්ඩායම් අංක - 5 යටතේ ගුවන් හමුදාවට එක්විය. පසුව එතුමන් කෙඩෙට් නිලධාරියෙකු ලෙස බ්‍රිතාන්‍යයේ ක්‍රැන්වෙල්හි කීර්තිමත් රාජකීය ගුවන් හමුදා විද්‍යාලය වෙතින් පුහුණුව හැදෑරුවේය. වර්ෂ 1959 දී පියාසර ලුතිනන් මෙන්ඩිස්, ග්ලූස්ටර්ෂෙයර් හි රාජකීය ගුවන් හමුදා Little Rissington මධ්‍යම පියාසර පාසලේ දී පියාසර උපදේශකයෙකු ලෙස පුහුණුව ලැබුවේය. එතුමන් පියාසර උපදේශකයෙකු ලෙස පුහුණුව ලැබූ පළමු ලාංකීකයා ද විය.

එයාර් චීෆ් මාර්ෂල් මෙන්ඩිස්, ගුවන් නියමු නිලධාරි තනතුරේ සිට එයාර් කොමඩෝරු තනතුර දක්වා වෘත්තීමය ප්‍රගතියක් ලබා ඇති නිලධාරියෙකු ලෙස වර්ෂ 1971 ජනවාරි මස 1 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ 4 වන ගුවන් හමුදාධිපති ලෙස පත් කෙරිණි. එතුමන් රාජකීය ලංකා ගුවන් හමුදාවට අණදුන් පළමු ලාංකීක නිලධාරියා ද විය. වර්ෂ 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව රාජකීය ලංකා ගුවන් හමුදාව ලාංඡන සමඟින් එහි නම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස නම් කෙරිණි. ඒ සමඟ එයාර් වයිස් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති බවට පත්විය. එතුමන් වර්ෂ 1976 දී විශ්‍රාම දිවියට පා තැබුවේය.

අභාවප්‍රාප්ත එයාර් චීෆ් මාර්ෂල් පී.එච්. මෙන්ඩිස් (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ දෙහිවල - ගල්කිස්ස ‘නිසල සෙවණ’ සුසාන භූමියේදී සිදුකෙරිණි.