Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2021 19:45:47 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමන්ට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, පසුගියදා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඉකුත් සඳුදා (25) දින කුරුණෑගල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මුලස්ථානයේ සිදුකල නිල සංචාරයේදී සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ජාතික ආක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ඩි.එස්.කේ. ගුණවර්ධන සමගින් රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, අණදෙන නිලධාරින් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගත්හ. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත පුද කළහ.

පසුව, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මුලස්ථානයේ සංචාරයක නිරත වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුද කළහ. ඉන් අනතුරුව, එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ නව තනතුරේ රාජකාරි භාරගැනීමට සුභපැතුම් එක් කිරීම සඳහා එම අවස්ථාවට සහභාගි වු සියලුදෙනා සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථානයේ පවත්වාගෙන යනු ලබන සූර්ය බලශක්ති උත්පාදන ඒකකය සහ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කරන ලදී. පසුව, එම මූලස්ථානයේ පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී විය.