Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th October 2021 15:30:00 Hours

5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් අඩු ආදායම්ලාභි පවුලකට වියළි සලාක සහ පාසල් උපකරණ බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 222 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව කන්තලේ, සීනිපුර ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දරුවන් තිදෙනෙකු සමගින් දිවිගෙවන පවුලකට වියළි සලාක සහ එම දරුවන් තිදෙනාට මූල්‍යමය පරිත්‍යාගයක් පිරිනමන ලදී.

5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් පසුගිය සිකුරාදා (15) දින ඔවුන් ජීවත්වන නිවස වෙත ගොස් සහල්, පරිප්පු, කරවල, කුළුබඩු, ධාන්‍ය වර්ග, කිරිපිටි පැකට් වලින් සමන්විත පාර්සල්, පාසල් උපකරණ සහ පාසල් නිල ඇඳුම් පරිත්‍යාග කළහ.

එහිදි, එම දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට පිටුවහලක් වෙමින් අ.පො.ස. (සා.පෙළ) විභාග අවසන් වනතුරු මාසිකව රුපියල් 7500.00 බැගින් (එක් දරුවෙකුට රු. 2500.00) ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහන 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ ගේ උපදෙස් මත 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නදීක කුලසේකර ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 222 වන බලසේනාවේ බලසේනාධිපති, 5 (ස්වේච්ඡා) කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී, 222 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් සහභාගී වූහ.