Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2021 14:30:06 Hours

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යභාරය ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානිගේ පැසසුමට

යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (13) දින ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සුහද හමුවක් පැවති අතර ඉන් අනතුරුව ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි උත්සව අවස්ථාව සඳහා පැමිණ සිටි මාධ්‍යවේදීන් වෙත සිය අදහස් දැක්වූවේය.

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින් දැක්වේ;

මා වෙත ශ්‍රී ලංකා රජය, මහජනතාව සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උණුසුම් පිළිගැනීම වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි. ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි වශයෙන් මෙය මාගේ ප්‍රථම නිල ශ්‍රී ලංකා සංචාරය වන අතර ඉන්දියානු ශ්‍රී ලංකා සාම සාධක හමුදාවේ කනිෂ්ඨ අණදෙන නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකාව සමඟ පැවති සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණ පෙරදැරිව මා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූවෙමි.

මාගේ මෙම සංචාරයට, මේ වනවිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද පුහුණු අභ්‍යාසයක් වන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය ප්‍රධාන කරුණක් වන අතර එය දෙරට අතර පවතින දිගුකාලීන යුද පුහුණු අභ්‍යාසයක් වේ. නුදුරේදී එම යුද පුහුණු අභ්‍යාසයේ අවසාන අදියර පැවැත්වීමට නියමිත අතර එය නිරීක්‍ෂණය සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සහභාගී වීමට මා බලාපොරොත්තු වෙමි. මෙම යුද පුහුණු අභ්‍යාසය දෙරට අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරිමට බෙහෙවින් ඉවහල් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට අනුව මැතිවරණයෙන් පත් වූ දෙරටේ නායකයින් අතර පවතින සබඳතාවයන් දෙරට අතර පවතින හමුදා සබඳතාවයන් තුලින් පිළිබිඹු කෙරේ. දෙරට හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවන් ගණනාවක් පැවැත්විමට අපට හැකියාව ලැබිණි.

ඉන්දීය හමුදා පුහුණු ආයතන තුළ පුහුණු අභ්‍යාසයන් සඳහා ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා නිලධාරින්, කෙඩෙට් නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සඳහා පුහුණු අභ්‍යාසයන් ගණනාවක් පැවැත්වීමට හැකියාව ලැබීම සතුටට කරුණක්. ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නවදිල්ලියේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධිධාරියෙක් වන අතර එම කාල වකවානුවේදී ඔහු අතීත සිහිවටන රැසක් ඉතිරි කරමින් එම පාඨමාලාව නිම කිරීමට ඇතැයි මා විශ්වාස කරමි. කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු සඳහා ද අප එකිනෙකා සමඟ සුහද සබඳතාවයෙන් යුතුව කටයුතු කළෙමු. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානියා වශයෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ශ්‍රේෂ්ඨ හා ප්‍රශංසනීය සේවය අප පැසසුමට ලක් කළ යුතුයි.

ඉදිරි දින කිහිපය තුළ අතිගරු ජනාධිපති සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු සිවිල් නායකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් හමුවීමට ද මා බලාපොරොත්තු වෙමි.