Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සඳහා නව බලාපොරොත්තු එක්කරමින් ‘Army Commander's League-T 20’ ක්‍රිකට් තරඟාවලිය පැවැත්වේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ යෝජනාවකට අනුව ජාතික සංචිතයට දක්‍ෂතම ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගැනීමේ අරමුණින් ‘Live with COVID-19’ සංකල්පයට අනුකූලව දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද යටතේ පවත්වනු ලබන ‘Army Commander’s League-T 20’ ක්‍රිකට් තරඟාවලියේ 2 වන අදියරේ අවසන් මහා තරඟය දොඹගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිකුරාදා (06) දින ආරම්භ විය.

ජූලි මස 31 දින සිට දින කිහිපයක් පුරාවට දොඹගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරඟ වට කිහිපයකින් පසුව අද (06) දින අවසන් මහා තරඟයන් සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් ‘Super Fashion Northern Warriors’ සහ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ‘Event TV Western Warriors’ කණ්ඩායම් අතර පැවැත්විණි.

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා ක්‍රිකට් කණ්ඩායම් හතරක් සහභාගී වූහ. ඒ අනුව, ‘Super Fashion’ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් ‘Army Northern Warriors’ කණ්ඩායම, Batsman.com සහ Prima Stella සම අනුග්‍රාහකත්වයෙන් යුද්ධ හමුදා ජාතික ක්‍රීඩක අසේල ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ‘Army Eastern Warriors’ කණ්ඩායම, DIMO පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වයෙන් යුද්ධ හමුදා ජාතික ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ‘Army Southern Warriors’ කණ්ඩායම සහ event TV අනුග්‍රාහකත්වයෙන් යුද්ධ හමුදා ජාතික ක්‍රීඩක තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ‘Army Western Warriors’ කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී වේ.

ඉතා උද්වේගකර තරඟාවලියකින් අනතුරුව සෑම දිනකම පුහුණුවීම්වල නිරතවීම තුලින් සෑම දෙනා තුලම දැඩි බලාපොරොත්තු ඇතිකරමින් යුද්ධ හමුදා ජාතික ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් Super Fashion Northern Warriors සහ යුද්ධ හමුදා ජාතික ක්‍රීඩක තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Event TV Western Warriors අද (06) දින දොඹගොඩදී පැවති අවසන් මහා තරඟය සඳහා තේරීපත්විය. මෙම තරඟාවලීන් දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද මධ්‍යයේ පවත්වනු ලැබූහ.

ටී - 20 තරඟාවලියේ ප්‍රබෝධමත් බලාපොරොත්තු ඇති කරමින්, යුද්ධ හමුදා ජාතික ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුත් Super Fashion Northern Warriors කණ්ඩායම තරඟාවලියේ ජයග්‍රහණය ඔවුන් සතුකරගත්හ. එමෙන්ම, මෙම තරඟාවලියේ අනුශුරතාවය දිනාගැනීමට‍යුද්ධ හමුදා ජාතික ක්‍රීඩක තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් Event TV Western Warriors කණ්ඩායම සමත්වූහ.

සීක්කුගේ ප්‍රසන්න තරඟාවලියේ වීරයා සහ දක්‍ෂතම පන්දු යවන්නා ලෙසත් ශිහාන් ප්‍රනාන්දු අවසන් තරඟයේ වීරයා ලෙසත් නම් කෙරිණි. එමෙන්ම, උපුල් තරංඟ තරඟාවලියේ හොඳම පිතිකරු ලෙස නම් කෙරිණි.

මෙම තරඟාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් මඟපෙන්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූවේය. තවද, මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල, යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති සහ යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති සහ සම්බන්ධීකාරක මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරිය යන මහත්වරුන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා තරඟාවලියේ සියලු ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ දිරි දීමනා ප්‍රදානය කරමින් සුභපැතුම් එක්කළේය. තවද, මෙම තරඟාවලිය සඳහා අනුග්‍රහකත්වය දැක්වු අනුග්‍රාහක භවතුන් සඳහා සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

මේ අතර, 2020 ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ ශූරයින් බවට පත් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු ක්‍රිකට් කණ්ඩායමට ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙහිදී කුසලාන පිරිනැමුවේය.

ජාතික මට්ටමේ ක්‍රීඩකයින් 500 කට අධික සංඛ්‍යාවක් ස්ථිර යුද්ධ හමුදා සාමාජිකයින් ලෙසත් තවත් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා තවත් අර්ධකාලීන රැකියාවන්හි නියුක්තව සිටින අතර එම සම්පත් වලින් සමන්විත රටේ විශාලතම සංවිධානය ලෙස සිය දේශය වෙනුවෙන් අභිමානවත් සේවයක් ඉටුකරමින් සිටිති. ජාත්‍යන්තර මට්ටමින් රටට කීර්තියක් හා ගෞරවයක් අත්කර දෙමින් වසර ගණනාවක සිට එම ක්‍රීඩකයින් සුපිරි ක්‍රීඩා වාර්තාවන් පිහිටුවා ඇත. එම යුද්ධ හමුදා ක්‍රීඩකයින් අතරින් 99% ක්ම ග්‍රාමීය ප්‍රදේශවලින් එක් වූ ක්‍රීඩකයින් වීම වැදගත්ම කරුණකි.

තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ජෛව බුබුලු සංකල්පය තුළ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා ක්‍රිකට් ලෝලින් සීමිත ප්‍රමාණයක් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ.

තරඟාවලියේ අවසන් මහා තරඟයේ සමාප්තියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ප්‍රකාශය පහතින් දැක්වේ: