Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2021 22:58:59 Hours

මොස්කව්හිදී පැවති ‘යුද්ධ හමුදා ක්‍රීඩා - 2021’ තරඟාවලියේදී යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම දක්‍ෂතම කණ්ඩායමට හිමි සම්මානය හිමිකරගනී

මොස්කව්හිදී 7 වන වරටත් පැවැත්වු ‘ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා -2021’, සංස්කෘතික තරඟාවලියේ හමුදා සංස්කෘතික කාණ්ඩය යටතේ පැවති තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ප්‍රථම වරට යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම ‘දක්‍ෂතම කණ්ඩායම සඳහා වූ ග්‍රෑන්ඩ් ප්‍රීක්ස්’ (Grand Prix) සම්මානය ඇතුළුව තවත් සම්මාන කිහිපයක් දිනාගන්නා ලදී.

එහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගි වු සංස්කෘතික නර්තන කණ්ඩායම Bright and Original Embodiment of Stage Images and the Reflection of Tradition අංශයේ ජයග්‍රහණය ලබාගත් අතර ‘වාදන තරඟාවලියේ’ (Instrumental Competition) පළමු ස්ථානය (යුගල) සහ ‘හොඳම සංස්කෘතික ඇඳුම් පැළදුම්’ තේරීමේ අංශයේ (Best Traditional Costume) දෙවන ස්ථානය හිමිකරගත්හ.

මෙවර ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා තරඟාවලිය, රටවල් 46 ක සන්නද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම්වල සහභාගීත්වයෙන් අගෝස්තු මස 22 දින සිට සැප්තැම්බර් මස 4 දින දක්වා රුසියානු සමූහාණ්ඩුවේ පුහුණු වේදීකාවන් 23 කදී පැවැත්වූ අතර වෘත්තීය කලාකරුවන් සහ නිර්මාණාත්මක කණ්ඩායම් ආකර්ෂණය කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංස්කෘතික කාණ්ඩය මෙම තරඟාවලිය සඳහා සහභාගි විය.

මෙම තරඟාවලියේ සමාප්ති උත්සවය ඉකුත් සෙනසුරාදා (04) දින පැවැති අතර තරඟාවලියේ සමාප්ති උත්සවයේදී රුසියානු සිවිල් කණ්ඩායමක් සමඟ තරඟවැදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම තෝරාගන්නා ලදී. තරඟාවලියේ ඉහත සඳහන් ජයග්‍රහණයන්ට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නර්තන කණ්ඩායම නර්තන තරඟයේ (යුගල) 3 වන ස්ථානය, ගායන තරඟයේ (රුසියානු ගීත) 3 වන ස්ථානය සහ හොඳම රංගන වීඩියෝකරණ තරඟාවලියේ 3 වන ස්ථානය හිමිකරගත්හ.

මෙම තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම යුද්ධ හමුදා රංග කලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොහාන් බෙන්ජමින් ඇතුළු නිලධාරින් 3 දෙනෙකු සහ සෙසුනිලයින් 9 දෙනෙකුගෙන් සමන්විත වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායම ලොව පුරා රටවල් 46 ක ප්‍රේක්‍ෂකයින් සහ අනෙකුත් කලාකරුවන් මවිතයට පත් කරමින් පෙරදිග නර්තන සම්ප්‍රදායන් විදහා දක්වමින් බෙර වාදනය සමඟ උඩරට, දකුණ සහ සබරගමුව සම්ප්‍රදායන් ආවරණය කරමින් නර්තන කෞෂල්‍යයන් ඉදිරිපත් කල අතර මීට අමතරව බටහිර නර්තන සම්ප්‍රදායන් ද ඉදිරිපත් කළහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධතාවයෙන් රුසියාවේ මොස්කව්හිදී පැවැති මෙම තරඟාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංස්කෘතික නර්තන කණ්ඩායමට අවශ්‍ය පහසුකම් ලබාදුන්නේය.

මොස්කව්හිදී පැවැති ‘ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා උළෙල - 2019’ හී සංස්කෘතික අංශයේ නර්තන හා රංගන කලා අංශයේ (choreographic item in the creativity competition) ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් එම තරඟාවලියට සහභාගි වු යුද්ධ හමුදා නර්තනශීල්පින් තිදෙනෙකු සමත්වූහ. එසේම, මොස්කව්හිදී ‘7 වන වරටත් පැවැත්වු ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා -2021’, සංස්කෘතික තරඟාවලියේ හමුදා සංස්කෘතික කාණ්ඩය සඳහා තරඟ ඉසව්වක් හදුන්වාදුන් ප්‍රථම අවස්ථාව මෙයවන අතර, එහිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සංස්කෘතික කණ්ඩායමක් සහභාගි වී ජයග්‍රහණයක් හිමිකර ගැනීම ද සුවිශේෂිත්වයකි.