Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2021 15:11:50 Hours

56 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරී කටයුතු අරඹයි

වවුනියාව, ප්‍රදේශයේ ස්ථාපිත 56 වන සේනාංකයේ 25 වන සේනාංකාධිපති ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා පසුගිය සිකුරාදා (20) දින එම සේනාංක මූලස්ථානයේදී මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

56 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් 56 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනිමේන් අනතරුව එම සේනාංකයේ භටපිරිස් විසින් සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ. පසුව, නව සේනාංකාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය. පසුව එතුමන් එම අවස්ථාවට වැඩමකළ මහා සංඝරත්නය උදෙසා පිරිකර පූජා කිරිමෙන් අනතුරුව 56 වන සේනාංකයේ නිලධාරීන් අමතනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව බලසේනාධිපතිවරුන්, 56 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

මීට පෙර 56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් නන්දන දුනුවිල විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නව තනතුර සඳහා පත් වූ මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා 56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්වීමට පෙර ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ධූරයේ කටයුතු කළහ.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මානුෂීය මෙහෙයුමේ අවසාන කාලවකවානුව තුළ 14 සහ 18 වන විජයබාහු පාබල ඒකකයන්හී අණදෙන නිලධාරි තනතුර ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරි, 533 වන බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ සහකාර හමුදා ලේකම් -2, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදෙශක යන තනතුරු රැසක් හොබවා ඇත.