Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st August 2021 16:00:36 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය රුධිරය පරිත්‍යාග කරයි

යාපනය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සිදුකිරීම සඳහා අවශ්‍ය රුධිර ප්‍රමාණය අවම වීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහල් වෛද්‍ය නිලධාරීන් විසින් ඉකුත් සිකුරාදා (20) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් යාපනය ශික්ෂණ රෝහලේ රුධිර හිඟතාවය සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය රුධිරය පරිත්‍යාග කළහ.

පවතින කොවිඩ්-19 වෛරස් තත්ත්වය හේතුවෙන් උද්ගතව ඇති මෙම හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගත් භටපිරිස් ස්ව කැමැත්තෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූහ.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල නිලධාරින්ගේ සහාය ඇතිව 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී. තවද ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ උපදෙස් පරිදි නිලධාරින් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් රුධිර පරිත්‍යාග වැඩසටහනට ඒක්වූහ.

මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, බලසේනාධිපතිවරුන්, ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා භටපිරිස් සහභාගී වූහ.

මෙවැනි රුධිර පරිත්‍යාග වැඩසටහන් සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් නිරන්තරයෙන් සිය දායකත්වය දක්වනු ලැබේ.