Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2021 13:56:28 Hours

ඉංජිනේරු භටපිරිස් තවත් වැව් 4 ක් ප්‍රතිසංස්කරණය කරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ‘වාරි සෞභාග්‍ය’ වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාව විසින් වැව් 200 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැලිඔය, මහවැලි- එල් කලාපයේ වැව් 4 ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිගේ අධික්‍ෂණය යටතේ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ඉංජිනේරු බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලබයි.

ඒ අනුව, සහන වැව, හංස විල, කම්බිලි වැව සහ වෙහෙර වැව මෙලෙස ප්‍රතිසංස්කරණය කරනු ලබයි. 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් එම වැව් තුළ පාසි සහ අනෙකුත් ජල අපවිත්‍රකාරක ද්‍රව්‍ය ඉවත් කර එම වැව් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලට යොදාවනු ලබන යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය තෙල් ලබාගැනීමට රුපියල් මිලියන 3.4 ක මුදලක් වැය වන අතර ඒ සඳහා අවශ්‍ය මුල්‍යමය පිරිවැය මහවැලි අධිකාරිය විසින් ලබාදෙනු ලබයි. මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම තුලින් ගොවීන් 300 කට පමණ ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කරගැනීමට ඉඩහසර සැලසේ.

මෙම වැව් 4 ප්‍රතිසංස්කරණ කටයුුතු කඩිනමින් අවසන් වු විගස තවත් වැව් 6 ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අපේක්‍ෂා කෙරේ.

මෙම ව්‍යාපෘති යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්න සහ 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.කේ.පී. පුස්සැල්ල ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි.