Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th July 2021 18:00:01 Hours

යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලියට සියලු කටයුතු සුදානම්

දෙවන වරටත් පවත්වනු ලබන යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලිය ජුලි මස 31 දින සිට අගෝස්තු මස 8 වන දින දක්වා ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සකසා ඇති දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එක් කණ්ඩායමක් වශයෙන් තරඟාවලිය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇත. නුඳුරේදී පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙළ ක්‍රීඩා සමාජ තරඟාවලින් සඳහා සභභාගි කරවීමට තරඟකාරී වාතාවරණයක් තුල දක්‍ෂ ක්‍රීඩකයින් තෝරාගැනීමේ අරමුණින් මෙම තරඟාවලිය පවත්වනු ලබයි. ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව බ්‍රහස්පතින්දා (29) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේදී පැවැත්විණි.

මෙම මාධ්‍ය සාකච්ඡාව යුද්ධ හමුදා විධායක ජෙනරල් මෙන්ම යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ ජෙනරල් මෙන්ම යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති මේජර් ජෙනරල් ශිරාන් අබේසේකරගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

යුද්ධ හමුදාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍යමය සහයෝගය ලබාදෙමින් යුද්ධ හමුදාවේ ක්‍රිකට් ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරිම සඳහාත් දිවයිනේ සෙසු ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඕනෑම තරඟාවලියක් පැවැත්වීම සඳහාත් සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ඉදිකරන ලදී.

යුද්ධ හමුදාවෙන් බිහි වූ ජාතික ක්‍රීඩකයින්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් 4 ක් සහභාගී වන මෙම තරඟාවලිය සඳහා එක් කණ්ඩායමකට ජාතික ක්‍රීඩකයින් තිදෙනෙකු බැගින් ක්‍රීඩකයින් 12 දෙනෙකුට ආරාධනා කර ඇත. මෙම තරඟාවලිය පැවැත්වීම තුළින් ක්‍රීඩකයින් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනිමට හැකියාව ලැබෙන බවත් තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් ඉහළ නැංවිමට හැකිවන බවත් යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ චිත්ත ධෛර්ය ඉහළ නැංවිමට හැකිවනු ඇති බවත් මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වු මේජර් ජෙනරල් වනසිංහ පැවසීය.

ඒ අනුව, යුද්ධ හමුදා නෝත් වෝරියන්ස් කණ්ඩායමේ නායකත්වය යුද්ධ හමුදාවෙන් බිහිවු ජාතික ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න විසින් හොබවන අතර මිලින්ද සිරිවර්ධන, අශාන් ප්‍රියංජන සහ රමේෂ් මෙන්ඩිස් යන ජාතික ක්‍රිඩකයින් සහභාගි වනු ඇත. එසේම, යුද්ධ හමුදාවෙන් බිහිවු ජාතික ක්‍රීඩක අසේල ගුණරත්නගේ නායකත්වයෙන් යුත් යුද්ධ හමුදා වෙස්ටර්න් වෝරියන්ස් කණ්ඩායමට සදුන් විරක්කොඩි, චතුරංග ද සිල්වා සහ ලහිරු මදුසංක යන ජාතික ක්‍රීඩකයින් සහභාගි වේ.

තවද, යුද්ධ හමුදා සවුත් වෝරියන්ස් කණ්ඩායමේ නායකත්වය යුද්ධ හමුදාවෙන් බිහිවු ජාතික ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් විසින් හොබවන අතර එම කණ්ඩායමට ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල් සහ ඇන්චුලෝ පෙරේරා යන ජාතික ක්‍රීඩකයින් සහභාගි වේ. එසේම, යුද්ධ හමුදාවෙන් බිහිවු ජාතික ක්‍රීඩක තිසර පෙරේරා විසින් නායකත්වය හොබවන යුද්ධ හමුදා වෙස්ට්‍රන් වෝරියන්ස් කණ්ඩායමට උපුල් තරංග, නුවන් ප්‍රදීප් සහ දිල්ශාන් මුනවීර යන ජාතික ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු ලබයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීතිවලට අනුකූලව පවත්වනු ලබන මෙම විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලියේ සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් තුන සමඟ තරඟ දෙක බැගින් ක්‍රීඩා කරනු ලබයි. එසේම, සෑම කණ්ඩායමකම ජාතික ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රීඩා කළ හැකි බවත් කණ්ඩායමකම වයස අවුරුදු 23 න් පහළ යුද්ධ හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ක්‍රීඩා කරන බව මෙවර තරගාවලිය පිළිබඳව පැහැදිලි කරමින් මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පැවසීය.

යුද්ධ හමුදාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්ෂ 1951 දී ආරම්භ විය. එවකට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ලද විවිධ තරඟාවලි සඳහා යුද්ධ හමුදා කණ්ඩායම් සහභාගී වූ අතර වර්ෂ 1963 දී යුද්ධ හමුදා කණ්ඩායම පළමු ‘ඩේලි නිවුස්’ ශූරතාව දිනා ගත්හ.

එතැන් පටන් යුද්ධ හමුදාව විසින් බ්‍රිගේඩියර් (වෛද්‍ය) එච්.අයි.කේ. ප්‍රනාන්දු ඇතුළු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයින් වන කපිතන් අජන්ත මෙන්ඩිස්, බළලත් නිලධාරි I සීකුගේ ප්‍රසන්න, බළලත් නිලධාරි II අසේල ගුණරත්න ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩකයින් රැසක් බිහිකර ඇත. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදුණු දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, පී.එච්.ටී කෞෂල්‍ය යන හිටපු ජාතික ක්‍රීඩකයින් යුද්ධ හමුදාවේ ක්‍රිකට් ක්‍ෂේත්‍රය නංවාලීම සඳහා යුද්ධ හමුදාවට ඇතුලත් කරගන්නා ලදී.

එසේම, 2004 වර්ෂයේදී, යුද්ධ හමුදා කණ්ඩායම ‘සාරා කුසලානය’ දිනා ගත් අතර, ප්‍රිමියර් ටයර් බී තරඟාවලිය ක්‍රීඩා කර 2009 වර්ෂයේදී එහි ශූරයින් බවට පත්විය. පසුව 2011/2012 සිට සුපිරි කණ්ඩායම් 8 අතර පළමු කණ්ඩායම ලෙස ප්‍රිමියර් ටයර් ඒ ලෙස යුද්ධ හමුදා කණ්ඩායම තේරිපත් විය. යුද්ධ හමුදා කණ්ඩායම පිළිවෙලින් 2016 සහ 2017 වර්ෂවලදී අන්තර් සමාජ විස්සයි-විස්ස ශූරතාවය සහ 23 න් පහළ ශූරතාවය දිනාගත් අතර යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම ද කාන්තා ශූරතාවයන් දිනාගත්හ. මේ වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවු ක්‍රීඩකයින් 5 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබයි.