Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2021 18:34:55 Hours

ගුවන් සංක්‍රමික සෙබළුන් 200 ක් විසිරයයි

53 වන සේනාංකය යටතේ නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකු විසිරයාමෙන් අනතුරුව අතිරේක ප්‍රහාරක බලකායට අනුයුක්ත කෙරිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

මෙම විසිරයාමේ පෙළපාලියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාෂ් සංජිව සහ ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම්.ඒ.ඩි.ආර්. මංගල විසින් පිළිගත්තේය. 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් සිදුකළ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සරඹ භූමියේදී විසිරයාමේ පෙළපාලියේ ගෞරවාචාරය පිළිගත්තේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහ ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම්.ඒ.ඩි.ආර්. මංගල එක්ව පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරින් සහ සෙසුනිලයින්ට නිල ලාංඡන පැළඳවිය.

නිල ලාංජන පැළඳවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ආඥාපති යුද්ධ හමුදා පුහුණු අණසක මේජර් ජෙනරල් සේන වඩුගේ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ද එක්වුහ.  

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පාඨමාලාවේ දක්‍ෂතම සිසුන්ට හිමි කුසලාන සහ සහතික පත් පිරිනැමුවේය. මෙවර පාඨමාලාවේ සෑම අතින්ම අතීශූර සිසුවාට හිමි කුසලානය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් එම්.ඩි.බී.එන්. මදුසංක විසින් හිමිකරගත් අතර පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරුට හිමි කුසලානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඒ.එච්.එස් මදුසංක සමත් විය. තවද මෙම පාඨමාලාවේ හොඳම ශාරිරික යෝග්‍යතාවය හෙබි සිසුවාට හිමි කුසලානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් පී.ජි.ඩබ්ලිව් ජයන්ත සමත්විය.  

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසිරයන නිලධාරින් සහ සෙසුනිලයින් අමතමින් පුහුණුවේ ඇති වැදගත්කම සිහිපත් කළ අතර එම අවස්ථාවට තමාට ආරාධනා කිරීම පිළිබඳව සියලුදෙනාට ස්තූතිය පුද කළේය. ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ ඉතිහාසය සහ එහි ඇති වැදගත්කම අවධාරණය කල යුද්ධ හමුදාධිපතිතුමන් රටේ ආරක්‍ෂාව උදෙසා ගුවන් සංක්‍රමික පුහුණු පාසල සිදුකරනු ලබන අනගි දායකත්වය ද මෙහිදි අගය කළේය.

පසුව, විසිරයන නිලධාරින් සහ සෙසුනිලයින්, පුහුණු පාසලේ උපදේශකයින්, කාර්ය මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් යුද්ධ හමුදාධිපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් පුහුණු පාසලේ සුභසාධන කටයුතු සහ අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳ උපදේශකයින් සමඟින් අදහස් හුවමාරු කරගත්තේය.

ඉන් අනතුරුව, පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත නව මුලස්ථාන ගොඩනැගිලි සංකිර්ණය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මුල්ගල තැබීමට ගෞරවයෙන් යුතුව ආරාධනා කරන ලදී. පසුව, පුහුණු පාසල් පරිශ්‍රය නිරික්‍ෂණය කල යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළේය.

ඉන් අනතුරව,  ගුවන් සංක්‍රමික පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නගරබඳ සටන් පුහුණු ගම්මානය අධිකාරියට පත් කිරිම සහ එම පෙදෙසේදී 53 වන සේනාංකයේ සහ ගුවන් සංක්‍රමික බලසේනාවේ භටපිරිස් එක්ව සිදුකල පුහුණු නිදර්ශනය දැකබලා ගැනිම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් එක්වූහ. මෙම විසිරයාමේ පෙළපාලියට බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගනිමින් රැහැන් ආධාරයෙන් සංග්‍රමික භූමියට පතිතවීමේ සංදර්ශනයක්, ක්‍ෂණික ප්‍රහාරක විහිදුම් යතුරුපැදි බලකායේ සංදර්ශනයක් සහ කැරලි මර්දන කණ්ඩායමේ සංදර්ශනයක් ඇතුලත් විය.

විසිරයාමේ පෙළපාලිය අවසානයේ, අභිනවයෙන් ඉදිකල ‘Zero Wind’ මීටර් 200 සුළු අවි වෙඩිපිටිය අධිකාරියට පත් කිරිම සහ විවෘත කිරීම සඳහා එක්වු යුද්ධ හමුදාධිපතිතුමන් ගුවන් සංක්‍රමික බලසේනාවේ දක්‍ෂ වෙඩික්කරුවන් විසින් එහිදි ඉදිරිපත් කල වෙඩිතැබීමේ සංදර්ශනයක් ද දැකබලා ගත්තේය.

මෙම විසිරයාමේ පෙළපාලියට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වය අගය කරමින් එහිදී විශේෂ සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය. යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයාමට ප්‍රථම ගුවන් සංක්‍රමික බලසේනා පුහුණු පාසලේ විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් තැබීය.

මෙම විසිරයාමේ පෙළපාලිය දැකබලා ගැනීම සඳහා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික, වන්නි, නැගෙනහිර, කිලිනොච්චි, මුලතිව් හා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයින් එක්ව සිටියහ.