Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st May 2021 19:11:45 Hours

මුලතිව් සහ කොකාවිල් ප්‍රහාර අත්දැකීම් ඇතුලත් නව ග්‍රන්ථ දෙකක් එළිදක්වයි

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන කර්තෘ මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ විසින් රචිත තවත් නව ග්‍රන්ථ දෙකක් පසුගිය දා යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිළිගැන්වූවේය. කුරිරු ත්‍රස්තවාදය පරාජය කොට දොළොස් වසරකට පසුව එම යුද්ධයෙන් දිවිපිදූ සහ විවිධ ආබාදයන්ට ලක්වූ වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වය සහ ජීවිත කැපකිරීම විදහාපාන වික්‍රමාන්විත සිද්ධීන් පිළිබඳ ලියැවුණු මෙම ග්‍රන්ථ යුගලයේ මුල් පිටපත් එලිදැක්වීමේ අවස්ථාව මෙහිදී සිදුවිය.

විජයග්‍රහණයේ 12 වන සංවත්සර දිනය වන මැයි මස 18 දින එළිදැක්වූ ‘මරණය මැදින් මුලතිව් සිට’ සහ ‘අවි බිමක ගිනියම’ නම් මෙම ග්‍රන්ථ යුගලය, තිස් වසරක යුද ඉතිහාසය තුළ ත්‍රස්තවාදීන් හමුවේ අප ලැබූ දරුණුතම පසුබෑම වන 1996 ජූලි මස ප්‍රහාරය සහ 1990 වර්ෂයේ කොකාවිල් ප්‍රදේශයේදී සිදුවූ ප්‍රහාරය යුද ඉතිහාසය තුළ සිදු වූ බිහිසුණුම හා සංවේදීම සිදුවීම වන අතර එම ප්‍රහාරය හමුවේ කොකාවිල් පිහිටි රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සේවයේ නියුතුව සිටි 61 දෙනෙකු අතරින් වීර යුද්ධ හමුදා සෙබලුන් 54 දෙනෙක් හා සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 04 දෙනෙකු තම ජීවිත පූජා කිරීම වටා ගෙතී ඇත.

ඵලදායී පර්යේෂණයකින් පසු රැස්කළ කරුණු සහ විශ්වසනීය තොරතුරු මත පදනම්ව මෙම ග්‍රන්ථ දෙක සවිස්තරාත්මක ආරක්‍ෂක උපාය මාර්ග, උපක්‍රම, මෙහෙයුම්, සාමූහික ක්‍රියාකාරකම් සහ ප්‍රතිප්‍රහාරයන් වැනි යුද්ධයේ වැදගත්කම පිළිබඳ මීට පෙර ලේඛනගත කර නොතිබූ වැදගත් කරුණු රැසකින් සමන්විත වේ. මෙම ග්‍රන්ථයන් රචනා කළ කතෘවරයා යුද විරුවන්ට උපහාරයක් ලෙස රචනා කරන ලද මෙම ග්‍රන්ථයන් පිළිබඳ විස්තර කරමින් කියා සිටියේ වෙඩි බිමේ සටන් පෑ විරුවන්ගේ නිර්භීත ක්‍රියාන්විතයන් පිළිබඳ නිශ්චිත තොරතුරු ලබාගැනීම සඳහා වසර තුනකට අධික කාලයක් පුළුල් පරික්‍ෂණ ව්‍යාපෘතියක නිරත වූ බවත් විශ්‍රාමික සුවයෙන් පසුවන හෝ යුද්ධය පිළිබඳ මනා දැනුමකින් පරිපූර්ණ විරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා එම තොරතුරු මත පදනම්ව මෙම ග්‍රන්ථයන් රචනා කළ බවයි.

වික්‍රමාන්විත යුද අත්දැකීම් පිළිබඳ තවත් පර්යේෂණ රැසක් සිදුකරමින් ග්‍රන්ථ කිහිපයක් රචනා කර ඇති මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ සමඟ පුළුල් ලෙස කරුණු සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගැනීම සඳහා දුරකථන අංක 077-2649344 / 071-0545710 ඔස්සේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟ සම්බන්ධ වීමේ හැකියාව පවතී.