Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2021 16:49:37 Hours

යුද්ධ හමුදා භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ නව කොවිඩ් - 19 වාට්ටුවක් ඉදිකරයි

මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂකගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එම රෝහල් පරිශ්‍රයේ කොවිඩ් - 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා නව කොවිඩ් - 19 වාට්ටුවක් ඉදිකළහ. ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ සමඟින් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් මහතා පසුගිය ඉරිදා (29) දින එම නව කොවිඩ් - 19 වාට්ටුව විවෘත කළේය.

කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දිවයින පුරා කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා ඇඳන් ප්‍රමාණය ඉහළ නැංවීමට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ලබාදුන් උපදෙස් වලට අනුව එහි තවත් එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ විසින් මෙම කොවිඩ් - 19 වාට්ටුව ඉදිකිරීමට වහාම පියවර ගත්තේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉදිකරන ලද මෙම නව කොවිඩ් - 19 වාට්ටුව සියලු වෛද්‍ය පහසුකම් සමඟින් ඇඳන් 25 කින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්‍ෂණික සහයෝගය 16 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් සපයනු ලැබූහ.

රට තුළ කොවිඩ් - 19 ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා දානපතියන් කිහිපදෙනෙකු මෙම ව්‍යාපෘතියට මූල්‍යමය අනුග්‍රාහකත්වය දැක්වූහ.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ මඟපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර, 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි සහ 16 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරි එක්ව හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනයට ගැනීම වෙනුවෙන් දින 10 කට අඩු කාලයක් තුල එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී.