Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2021 22:14:11 Hours

යුද්ධ හමුදා භටපිරිස් දිවයින පුරා ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන් සඳහා දායකත්වය සපයයි

රජය විසින් සංවිධානය කරන ලද එන්නත්කරණ වැඩසටහන් සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය සපයති.

ඒ අනුව, ඉකුත් සෙනසුරාදා (29) දින මාතර දිස්ත්‍රික්කයේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය, පවරසිරි නිවේශාරාමය, රන්සෑගොඩ ශ්‍රී විජයාරාමය, කැකණදුර වෙහෙරහේන රජමහා විහාරස්ථානය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ අටානිකිත කණිෂ්ඨ විද්‍යාලය, ඇල්පිටිය ආනන්ද විද්‍යාලය සහ හබරාදූව ධර්මික මහා විද්‍යාලයේදී පවත්වනු ලැබු කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන් සාර්ථකව සිදුකිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOHs) සහ අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන්වෙත සිය සහයෝගය ලබා දුන්හ.

විශේෂ කාර්ය සාධක බලකා සාකච්ඡාවකදී අතිගරු ජනාධිපතිතුමන් ලබාදුන් උපදෙස්වලට අනුව කොවිඩ්-19 වෛරසය සීග්‍රයෙන් පැතිරයන දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛත්වයක් මත එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කෙරුණු අතර, එම එන්නතකරණ වැඩසටහන් සඳහා රජයේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදා භටපිරිස් සිය සහයෝගය දක්වන ලදී. ඒ අනුව ඉකුත් සිකුරාදා (28) දින උතුරු මැද, දකුණ, වයඹ සහ මධ්‍යම යන පළාත්වලට අයත් ගාල්ල, මාතර, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන් සාර්ථකව පවත්වන ලදී.

ඒ අනුව, ප්‍රථමයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට එන්නත් ලබා දීම සිදු කෙරුණු අතර, ආරම්භ කරනු ලැබු එන්නත්කරණ වැඩසටහන් නිරීක්‍ෂණය කිරීම සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින එම මධ්‍යස්ථාන වෙත සංචාරයක ද නිරත විය. යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOHs) සහ යුද්ධ හමුදා භටපිරිස් ඉරිදා (30) දිනය වන විටත් එන්නත්කරණ වැඩසටහන් නොනවත්වා සිදු කරනු ලබයි.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දම්මි හෙවගේ සහ 613 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුක්කු ගේ මඟපෙන්වීම යටතේ 61 වන සේනාංකය සහ ඒ යටතේ ඇති බලසේනා හා ඒකකයන්වල භටපිරිස් මේ සඳහා දායකත්වය සැපයූහ.