Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2021 12:37:33 Hours

කොවිඩ් - 19 රෝහලට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාගයක්

යුද්ධ හමුදාව විසින් සීදූව ප්‍රදේශයේ ඉදිකරනු ලබන ලංකාවේ විශාලතම කොවිඩ් - 19 රෝහලට අත්‍යවශ්‍ය ඖෂධ, රූපවාහිනී යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ, ලිනන් රෙදි ඇතුළු ද්‍රව්‍ය තොගයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ලබාදෙන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය පසුගිය ඉරිදා (09) දින මෙම රෝහල වෙත ගොස් එම පරිත්‍යාගයන් ලබාදුන්නාය.

ඇඳන් 1200 කින් සමන්විත වැඩිදියුණු කළ නවීන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ රෝහල සියලුම අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත වන අතර, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් හොඳම සහ කඩිනම් සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබා දීමේ අරමුණින් නුදුරේදී විවෘත කිරීමට නියමිතය. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් ආයතනය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත එම ගොඩනැගිල්ල පරිත්‍යාග කිරීමෙන් අනතුරුව ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මේ වෙනුවෙන් අත්වැල් බැඳගනිමින් කටයුතු කරන ලදී.

ඒ අනුව, සුජීවා නෙල්සන් මහත්මිය සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිස එම පරිශ්‍රය වෙත පැමිණ නව රෝහලේ අණදෙන නිලධාරි වෙත එම භාණ්ඩ තොගය පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය සිදුකිරීම සඳහා එම පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිළිගැනීම සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කර්නල් (සම්බන්ධීකරණ) නිලධාරි කර්නල් තුෂාර බාලසූරිය සහභාගී වූහ.