Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2021 13:35:11 Hours

යුද්ධයෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවෙකුගේ බිරිඳ සහ දියණියන්ට යුද්ධ හමුදාවෙන් නව නිවසක්

2006 වර්ෂයේදී එල්ටීටීඊ ක්ලේමෝ බෝම්බයකට ගොදුරු වීමෙන් ජීවිතක්‍ෂයට පත් 10 වන ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ආර් ඒ අරුණ වීරෝදාර රණවිරුවාගේ බිරිඳ හා දියණියන් දෙදෙනා වෙනුවෙන් රුපියල් මිලියන 1.5 ක් වටිනා නව නිවසක් ඉදිකර ඔවුන් වෙත භාරදීම පසුගිය සඳුදා (12) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් සිදුකළේය.

21 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූයේය. යුද්ධ හමුදාවේ ශ්‍රමය හා මූල්‍යමය දායකත්වයෙන් මැණික්හින්න, පිළවල ප්‍රදේශයේ ගොඩනැඟුණු මෙම නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සියල්ල යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරිත්‍යාග කළේය. මෙම උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී.

මාණ්ඩලික සැරයන් ආර්. ඒ අරුණ ගේ දියණියන් දෙදෙනා දැනට මහනුවර උසස් බාලිකා විදුහලේ 10 සහ 12 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අතර ඔවුන්ගේම වූ නිවසක් නොමැති බව සැලවීමෙන් අනතුරුව යුද්ධ හමුදා රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ගජබා රෙජිමේන්තුව ඒකාබද්ධව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීමෙන් මෙම නිවස ඉදිකර ඔවුන් වෙත පරිත්‍යාග කරන ලදී. දිවිපිදූ රණවිරුවාගේ බිරිඳ සැරයන්වරියක ලෙස 11 වන සේනාංකයේ රාජකාරි ඉටුකරන්නීය.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් නිවැසි දියණියන් දෙදෙනා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රංජන් ලමාහේවා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාරධ සමරකෝන් විසින් මෙම නිවස භාරදීමේ උත්සවය සංවිධානය කර තිබූ අතර ආගමික වතාවත් වලින් අනතුරුව නිවසේ අයිතිය නිවාසලාභියා වෙත පවරන ලදී.

සුභ මොහොත උදාවත්ම සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ පීත්ත පටිය කැපීමෙන් අනතුරුව නිවාසලාභීන් හට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලක්‍ෂ 02 ක් වටිනා ගෘහ භාණ්ඩ පිරනැමීමද සංකේතාත්මකව සිදුවිය.

දිවිපිදූ රණවිරුවා ගේ ඒකකය වන 10 වන ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් දෙවන අණදෙන නිලධාරි මේජර් කිංස්ලි සමරසිංහ ගේ උපදෙස් මත ඔවුන්ගේ තාක්‍ෂණික හා ශ්‍රමදායකත්වයෙන් මෙම නිවස ඉදිකිරීම සඳහා පසුගිය මැයි මාසයේ මුල්ගල තබන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රුපියල් මිලියන 1.2 ක් ලබාදුන් අතර ගජබා රෙජිමේන්තුව විසින් ලක්‍ෂ 03 ක් පරිත්‍යාග කරන ලදී.

නිවාසලාභින් විසින් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔවුන්ගේ කෘතඥපූර්වකභාවය යුද්ධ හමුදාධිපතිතුමන්ටත්, අනෙකුත් පරිත්‍යාගශීලින්ටත් පළකල අතර නිවාසලාභීන්ගේ සිහිනය සැබෑ කරගැනීමට උරදුන් සැමට ස්තූතිය පළකරන ලදී.

මෙම අවස්ථාව සඳහා 111 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ. Nike Sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C