Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th April 2021 12:30:41 Hours

යාපනය ප්‍රදේශයේ තරුණයින් විශාල සංඛ්‍යාවක් යුද්ධ හමුදාවට එක්වීම සම්බන්ධයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සිය සතුට ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආධුනිකයින් බඳවාගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භව මාස තුනක් ගතව ඇති අතර, යාපනය ප්‍රදේශයෙන් දමිළ තරුණ තරුණියන් 1600 ක් පමණ යුද්ධ හමුදාව සමඟ එක්වීම ඉතා යහපත් ප්‍රවණතාවයක් බව යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එසේ ප්‍රකාශ කළේ සඳුදා (12) දින යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අමතමිනි.

භටපිරිස් අමතමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙසේද පැවසීය. “තවමත් බෙදුම්වාදී මත දරණ විවිධ පුද්ගලයින් හා කණ්ඩායම්වල බලපෑම් එල්ලවෙමින් තිබියදීත් යාපනය අර්ධද්වීපයෙන් මේ ආකාරයෙන් දමිළ තරුණ තරුණියන් යුද්ධ හමුදාවට ආධුනිකයින් වශයෙන් බැඳීමට ඉදිරිපත් වීම අප ලැබූ ජයග්‍රහණයක් බව සතුටින් සඳහන් කළ හැකියි. මෙම අර්ධද්වීපය තුළ යුද හා ගුවන් හමුදා සාමාජිකයන් 7000 කට ආසන්න පිරිසක් මගින් නිරෝධායන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පහසුකම් මහජනයාට සලසවමින් මූලිකත්වය ගෙන කටයුතු කිරීම මා විශේෂයෙන් අගය කිරීමට කැමතියි. එසේම, ඉතා විශාල කැපකිරීමක් සිදුකරමින් දිවා රෑ නොබලා සිදුකරනු ලැබූ මෙම කාර්යය තවමත් අවසන්ව නැතත් ඔබ සිදුකරන කාර්යභාරය මුළුමහත් ජාතියේම ඇගයීමට ලක්ව තිබෙන බව මා ඔබට පැවසිය යුතුයි.”

උත්සව සමයේ තම ආදරණීයයන්ගෙන් වෙන්ව රාජකාරියේ නිරතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ අලුත් අවුරුදු සැමරීම වස් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් අවස්ථාව උදාකර දී තිබිණි. යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂක කටයුතු වල වර්ධනයන් සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු පිළිබඳව ද අවධානය යොමුකරනු ලැබීය.

“රටේ පවතින ආර්ථික අභියෝගයන් මෙන්ම සෞඛ්‍ය අභියෝගයන්ට මුහුණදෙන අතරතුර ජාතික ආරක්‍ෂාවේ නියමු පිරිස වන ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් සෑම පහසුකමක්ම ලබාදීමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හා ගරු ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මැතිතුමාගෙන් ඉතා විශාල සහයෝගයක් හිමිවී තිබෙන බව කෘතවේදීව සිහිපත් සිහිපත් කළ යුතුයි. කොවිඩ් - 19 වෛරසයේ බලපෑම හේතුවෙන් රජය බොහෝ දුරට සෞඛ්‍ය හා මූල්‍යමය බාධාවන්ට මුහුණ දී තිබේ. පසුගිය කාලසීමාවේ ඉදිකිරීම් පසුබෑමකට ලක්ව තිබූ ආරක්‍ෂක සේනා මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් ද මේ වනවිට වේගවත් කර ඇති අතර එහි ඉදිකිරීම් කඩිනමින් අවසන් කර නාවික හා ගුවන් හමුදාවන්ට ද එම සංකීර්ණයේ ස්ථානගත වීමට ඉතා කඩිනමින් හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

“දමිළ ජනතාව බහුතරයක් වාසය කරන යාපනය අර්ධද්වීපය ඉතිහාසයේ සිටම රටේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන ප්‍රදේශයක් බව අපි හොඳින් දනිමු. ඔබ රාජකාරි කරන යාපනය අර්ධද්වීපය එදා මෙන්ම අදත් අප රටේ පමණක් නොව විදේශ රාජ්‍යයන්හිද නිරන්තර අවධානයට පාත්‍ර වී තිබෙන බව සඳහන් කළ යුතුයි. වර්ථමානයේ යාපනය අර්ධද්වීපයේ පවතින සාමකාමී පරිසරය ඇතිකිරීම වෙනුවෙන් තිරුනෙල්වේලි ප්‍රදේශයේදී ප්‍රථමවරට එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියගිය යුද්ධ හමුදාවේ ලුතිතන් වාස් ගුණවර්ධන ඇතුළු රණවිරුවන් 13 දෙනාගේ පටන් ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවන්වල සියලුම වීරෝදාර රණවිරුවන්ට මා නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. එසේම, මෙම ප්‍රදේශයන් ආරක්‍ෂා කිරීමේ මෙහෙයුම් වලදී ප්‍රතිකාර ලබන රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් මෙම අවස්ථාව යොදාගන්නා බව” යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

යුද්ධය අවසන් වූ දා සිට යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ ජීවනෝපාය මාර්ගයන් වැඩිදියුණු කිරීම මෙන්ම නිවාස ඉදිකිරීම්, පාසල් උපකරණ බෙදාදීම්, පාසල් හා ප්‍රජා ශාලා සංවර්ධනය හා සෞඛ්‍ය සේවාවන්ට අදාළ කාර්යයන් වැනි ක්ෂේත්‍රයන් ගණනාවක් ආවරණය සිදුකරනු ලබන මහා පරිමාණ සිවිල් හමුදා සහයෝගිතා ව්‍යාපෘති සම්බන්ධයෙන් තමා දැනුවත් බවත් ඒ පිළිබඳ තමන් ප්‍රශංසාව පළකරන බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය. ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් යාපනය අර්ධද්වීපය හා මුහුදු මාර්ග ආශ්‍රිතව සිදුවන විවිධ ආකාරයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා අවි ආයුධ ජාවාරම් වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා යාපනය අර්ධද්වීපයේ රාජකාරි ඉටුකරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉටුකරනු ලබන සේවය තමා අගය කරන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. එසේම, යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් යාපනයේ මහජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම පිළිබඳව අප සැවොම ආඩම්බර වියයුතු බව ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වශයෙන් සිදුකරනු ලබන සෑම කටයුත්තකදීම ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බවත් ශ්‍රී ලංකා පොලිස් බලධාරින් සමඟ සහයෝගිතාවය ඇතිකරගනිමින් සමාජ විරෝධි ව්‍යාපාර, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම, සාපරාදී ක්‍රියා වැළැක්වීම, මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම, ජාවාරම් මර්ධනය කිරීම ආදී ක්‍රියාන්විතයන්හිදී කටයුතු කළ බව එතුමන් එහිදී සිහිපත් කළේය. මේ වනවිට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් යාපනය අර්ධද්වීපයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් යාපනය අර්ධද්වීපයේ වෙසෙන ප්‍රජාවන් සුවිශේෂි අවධානයකට ලක්කර තිබෙන බවත් ඉදිරියේදීත් විමසිලිමත්ව සිටිමින් අදාළ කටයුතු සාර්ථකව ඉටුුකළයුතු බවත් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී පැවසීය. ජාතීන් අතර සහයෝගිතාවය හා සුහදත්වය වර්ධනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ලබාදෙන දායකත්වය බාහිර සමාජයේද පැසසුමට ලක් වී තිබීම අප සැවොම ආඩම්බර වියයුතු කරුණක් බව ද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. එබැවින්, ‘රටේ හා ජනතාවගේ ආරක්‍ෂකයා’, ‘රට වට බැඳි රන්වැට’ හා ‘සුරකිමු ලකඹර’ ආදර්ශ පාඨ පෙරදැරි කරගත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අනාගතයේදී ජාතිය වෙනුවෙන් උපරිම කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි මා විශ්වාස කරන බවත් එහිදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේය.

එසේම, සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයට සිය නව අවුරුදු සුභපැතුම් එක්කරන බවත් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද සිය සුභපැතුම් එක්කරන බව පැවසූ යුද්ධ හමුදාධිපතිතුමන් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් පැවසීය. Running sport media | Nike for Men