Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2020 10:00:18 Hours

මානුෂීය මෙහෙයුමේදී තුවාල ලැබු විරෝදාර රණවිරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරේ

රට දැය වෙනුවෙන් උදාර සේවයක් ඉටුකර දැයෙන් සමුගත් 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එච්.ඩි.ඩි ප්‍රසන්න ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, රණක්‍ෂිතයට පත් රණවිරුන්, සෙසුනිලයින් සහ පවුලේ සමාජිකයින් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ හාලිඇල ප්‍රදේශයේදී ඉකුත් සෙනසුරාදා (24) දින සිදුකරන ලදී.

වර්ෂ 2008 සැප්තැම්බර් මස 29 වන දින කුරිරු ත්‍රස්තවාදීන් විසින් විශ්වමඩු ප්‍රදේශයේදී එල්ල කල ප්‍රහාරයකින් හිසට බරපතල තුවාල සිදුවී වසර 11 කට අධික කාලයක් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එච්.ඩි.ඩි ප්‍රසන්න ඉකුත් බ්‍රහස්පතින්දා (21) දින දැයෙන් සමුගත්තේය.

අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ පළමු විරෝදාර රණවිරුවා කෝප්‍රල් එච්.ඩී.ඩි. ප්‍රසන්න වේ.

මෙලෙස මිහිදු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබමින් සිටියදී කෝප්‍රල් එච්.ඩී.ඩි. ප්‍රසන්න ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් දින කිහිපයකට පෙර ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත ඇතුලත් කෙරිණි.

කෝප්‍රල් එච්.ඩි.ඩි ප්‍රසන්න ගේ දේහය පිළිබඳ පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවැති අවසන් කටයුතු සිදුකිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අජිත් සෙනාධීර, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති නියෝජනය කරමින් කර්නල් අනුරුද්ධ සෝලංග ආරච්චි සමඟින් මිහිදු සෙත් මැදුරේ සේනාවිධායක කර්නල් ජිවන් ගුණතිලක, 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ.පී.සී ධර්මසිරි ඇතුළු එම ඒකකයේ භටපිරිස් එක්වූහ. දැයෙන් සමුගත් කෝප්‍රල් එච්.ඩි.ඩි ප්‍රසන්න ගේ නිවසේ තැන්පත් කර තිබු දේහයට පාන්සකූලය දීමෙන් අනතුරුව ජාතික ධජයෙන් ආවරණය කළ මෘතදේහය තැන්පත් පෙට්ටිය හමුදා සම්ප්‍රදායානුකූලව කාතුගැල මත තැන්පත් කර සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. වීරත්වය, නිර්භීතකම, දේශප්‍රේමිත්වය සහ චිත්ත ධෛර්යෙන් හෙබි විරෝධාර රණවිරුවාගේ මතකයන් අවදිකරමින් නිල ලාංඡන සහ පදක්කම් දැයෙන් සමුගත් කෝප්‍රල් ප්‍රසන්නගේ මව වෙත භාරදුන්නේය.

දැයෙන් සමුගත් විරෝදාර රණවිරුවාට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ භටපිරිස් ගෞරවාචාර පුද කිරීමෙන් අනතුරුව බියුගල් නලා හඬ මධ්‍යයේ රට ජාතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ තවත් විරෝදාර රණවිරුවෙකුගේ දේහය මහ පොලොව මත මිහිදන් කරන ලදී. අභාවප්‍රාප්ත වූ කෝප්‍රල් එච්.ඩී.ඩි. ප්‍රසන්න ගේ පවුලේ සාමාජිකයින් විධායක ජෙනරාල් ශාඛාව, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානය සමඟ සම්බන්ධතාවයෙන් අවමංගල්‍ය උත්සව කටයුතු සිදු කෙරිණි. Sports brands | New Releases Nike