Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th September 2020 10:51:48 Hours

'ලායා ලෙෂර්’ කුකුලේගඟ හෝටල් පරිශ්‍රයට නව පහසුකම් වලින් සමන්විත පිළිගැනීමේ නිලධාරී කාර්යාල ගොඩනැගිල්ලක්

තම එදිනදා කටයුතු වලින් මොහොතකට බැහැරව විවේකයක් අපේක්‍ෂා කරන යුද්ධ හමුදා සහ සිවිල් ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන සුප්‍රසිද්ධ හෝටල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා ‘ලායා ලෙෂර්’ හෝටලය තුළින් විවිධ ත්‍රාසජනක ක්‍රීඩා අත්දැකීම්, සොබාදහමේ චමත්කාරය මෙන්ම අලංකාර වටපිටාවකින් හා ඇතුළු විවිධ විනෝදකාමී අංගයන්ගෙන් සමන්විත අත්දැකීමක් ලබා ගත හැකි අතර, එම අවස්ථාවන් තවත් පුළුල් කරමින් එම හෝටල් පරිශ්‍රයේ ඉඳිකරන ලද නවීන පහසුකම් වලින් සමන්විත අවන්හල සහ තානායම විවෘත කිරීම මෙන්ම, එහි අභිනවයෙන් ඉඳිකිරීමට නියමිත පිළිගැනීමේ නිලධාරී කාර්යාලයට මුල්ගල තැබීම හා නවීනතම අවන්හල (Restaurant and Bar) අද (03) දින මහත් උත්සවාකාරයෙන් සිදු කරනු ලැබිණි.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක‍්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලායා හෝටල් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී බ්‍රිගේඩියර් චිත්‍රාල් කුලතුංග විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එදිනට නියමිත වැඩසටහනේ ප්‍රථම අංගය ලෙස අභිනවයෙන් ඉදිකිරීමට නියමිත පරිපාලන හා පිළිගැනීමේ නිලධාරී දෙමහල් කාර්යාල සංකීර්ණයට මුල්ගල තැබීම ලායා ලෙෂර් හෝටලයේ සාමාන්‍යධිකාරී කර්නල් රොහාන් වෙත්තසිංහ ගේ ආරාධනයෙන්, සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් සිදු කරනු ලැබීය.

මෙම ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 13 ක මූල්‍ය ප්‍රතිපාදනයක් ඇස්තමේන්තු ගත කර ඇති අතර, එම මුදල ‘ලායා ලෙෂර්’ හෝටල් කළමනාකරණ මණ්ඩල අරමුදලින් වෙන් කර ඇත. එහිදි එම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් හෝටල් පරිශ්‍රයේ අඹ පැලයක් රෝපනය කළේය.

ඉන් අනතුරුව, හෝටල් පරිශ්‍රය තුළ අභිනවයෙන් ඉදිකළ නවීන අංගෝපායන්ගෙන් සමන්විත අවන්හල (Restaurant and Bar) යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ඉමහත් උත්සවාකාරයෙන් විවෘත වූයේ පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කිරිමෙන් අනතුරුවය. එහිදි එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපතිතුමන් නව අවන්හල සහ තානායම සිය නිරීක්‍ෂණයට ලක් කරමින් එහි මෙහෙයුම් ප්‍රධානීන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරත විය. මෙම උත්සව අවස්ථාවේ නිමාව සනිටුහන් කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම හෝටල් පරිශ්‍රයේ විශේෂ ආරාධිත අමුත්තන් සඳහා වෙන්කර තිබු සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ආහාර පිසීම, ගෘහ පාලනය, සූපශාස්ත්‍ර කලාව, භාරකාරත්වය, සනීපාරක්ෂක ක්‍රියා පටිපාටි, භෝජන පිළිවෙත්, බුෆේ කටයුතු යනාදිය පිළිබඳ ආගන්තුක සත්කාර පුහුණු පාඨමාලවක් එම හෝටල් පරිශ්‍රය ආශ්‍රිතව වෙසෙන ප්‍රදේශවාසීන් වෙනුවෙන් පවත්වන ලෙසට එම හෝටල් කළමනාකාරීත්වයට උපදෙස් ලබා දුන් අතර, ඒ අනුව, එම පාඨමාලාව සාර්ථක ලෙස සම්පූර්ණ කරන අයවළුන්ට 'ලයා' වෙතින් වෘත්තීය සහතිකයක් ද ලබාදීමට නියමිතය. පුරාණ සංස්කෘත භාෂාවෙන් ‘ලායා’ යන්නෙන් අදහස් කරන්නේ විවේක ගැනීම හෝ විවේකයයි. මේ අනුව එම හෝටල් ජාලයට අදාළ එක් එක් නිවාඩු නිකේතනයන්හී ‘ලායා බීච්’ (Laya Beach) ',ලායා සෆාරි' (Laya Safari), ‘ලායා ලෙෂර්’ (Laya Leisure) සහ ‘ලායා වේව්ස්’ (Laya Waves), යනුවෙනි. වචනයේ පරිසමාප්තියෙන්ම එහි තේරුම් වනුයේ එහි ඇති අද්විතීය ආගන්තුක සත්කාරය මෙන්ම විශේෂඥ සූපවේදීන්ගේ සුරතින් පිළියල වූ ප්‍රණීත ආහාර පාන වල ඇති සුවිශේෂිත්වයයි.

තවද, එම හෝටල් පරීශ්‍රයට පැමිණි මාධ්‍යවේදීන් අමතමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටියේ ‘ලායා ලෙෂර්’ හි නව ව්‍යපෘති හා ජනප්‍රියත්වය තුළින් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට ඒ ආශ්‍රීතව ඉදිරි කාල සීමාවන් තුළ වැඩි වැඩියෙන් රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීමේ ඉඩප්‍රස්ථාවන් උදාවන බවයි. එමඟින් ඔවුන්ගේ ජීවනෝපායන් ඉහළ නංවාලීමට ඉන් හැකියාවක් ඇති බව මෙන්ම, මේ වන විට එම හෝටල් සමූහය ක්‍රියාත්මක වන ආකාරය තුළින් හෝටලයේ දෛනික අවශ්‍යතාවයන් සඳහා ඒ අවට ප්‍රදේශවලින් වැඩි වශයෙන් දේශීය ආහාර නිෂ්පාදනයන් හඳුන්වා දිය හැකි බවයි. තවද, මාධ්‍යවේදීන් නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාධිපතිතුමන් කියා සිටියේ අඛණ්ඩව ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවන් හමුවේ බැවින් ඕනෑම ගංවතුරක් හෝ අයහපත් කාලගුණික තත්ත්වයක් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සූදානම් කර ඇති බවයි. තවද, එහිදි රට තුළ පවතින කොව්ඩ්-19 තත්ත්වය පිළිබඳ විස්තර කළ එතුමන් ප්‍රකාශ කර සිටියේ දිවයින තුළට පැමිණෙන විදේශිකයන් අතර, වැඩි වැඩියෙන් කොවිඩ්-19 ආසාදිතයින් හමුවන බැවින් ලබාදී ඇති සෞඛ්‍ය උපදේශයන්ට අනුකූලව ක්‍රියා කරමින් මින් ඉදිරියටත් කටයුතු කිරිමේ ඇති වැදගත්කම ද මෙහිදී එතුමන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී. Adidas shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf