Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2020 20:40:37 Hours

මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ සිංහ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන්ගේ ගුණ සැමරේ

වර්ෂ 2009 මැයි මසින් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදාවේ රෙජිමේන්තුවලින් එකක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව තුලින් රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම උදෙසා තම ජීවිත පූජා කළ නිලධාරීන් 143 දෙනෙකු සහ සෙසු නිලයින් 3719 දෙනෙකු සිහිපත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව 28 වන වරටත් පවත්වනු ලබන රණවිරු සැමරුම් උත්සවය එම රණවිරුවන්ගේ ඥාතීන් රැසකගේ සහභාගිත්වයෙන් අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඉකුත් සෙනසුරාදා (22) දින පැවැත්විණි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ ආරාධනාවකට අනුව එම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සම්ප්‍රාප්ත වීම මෙම සැමරුම් උත්සවය වෙනුවෙන් සුවිශේෂි වටිනාකමක් එක් කළේය.

මෙම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ට එම රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි Truncheon House අසලදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබිණි. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. ඉන් අනතුරුව එම රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි වීරෝදාර රණවිරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුවිය. මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් වූයේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ධජය නිරාවරණය කිරීමත් සමඟිනි.

යුද්ධ හමුදා ගීතය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ගීතය ගායනා කිරීම මෙන්ම දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීම, විරෝදාර රණවිරුවන්ගේ නිර්භිතකම සඳහා වූ රණවිරුවන් සිහිකිරීමේ පාඨය කියවීම තුලින් මෙම සැමරුම් උත්සවය ආරම්භ වූ අතර යුද්ධයෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ දූ පුතුන් සහ ඥාතීන් විසින් රෙජිමේන්තු ධජය, මල් කළඹන් අතැතිව යුද්ධයෙන් දිවිපිදු රණවිරුවන් හට පිං අනුමෝදන් කරවනු ලැබිණි. එම අවස්ථාවේදී දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන් විසින් එකවර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ධජය දිගහරිමින්, එම රණවිරුවන් සිහිකිරීමේ පාඨය කියවීමත් සමඟ මෙම සැමරුම් උත්සවයේ අවසානය සනිටුහන් විය.

යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සැමරුම් උත්සව සභාව අමතමින් අභිමානවත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් ඉතිහාසය පුරාම සිදුකළ වටිනා කාර්යභාරයන් වෙනුවෙන් ඔවුන්ට ප්‍රශංසා කළේය. “මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක අවදියක මම වන්නි ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් සිටින අවදියේ මා සමඟ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බලඇණියන් සහ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් සමඟ මා සමීපව කටයුතු කළෙමි. එහිදී, ඔවුන්ගේ පාබල කුසලතා ආකර්ෂණීය ලෙස ප්‍රදර්ශනය කළ අතර ඔවුන්ගේ වටිනා ජීවිත, දේශයේ භෞමික අඛණ්ඩතාවය රැකගැනීම වෙනුවෙන් පූජා කරමින් අපේ රටට සාමය ගෙන ඒමට ක්‍රියාකාරීව සහාය විය. එය අප කිසිවෙකුටත් අමතක කළ නොහැකි සැබෑම නිර්භීත ක්‍රියාවක්.” බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.

“ඔවුන් යුධ පිටියේ සටන් වදින සමය තුළ එම වීරෝදාර රණවිරුවන්ගේ බිරින්දෑවරුන්, දරුවන්, දෙමව්පියන් සහ නෑදෑයින් වශයෙන් ඔබ එම විරුවන්ට ඉමහත් ශක්තියක් විය. එබැවින්, මේ රටේ සැබෑ පුතුන් හා දියණියන් ලෙස ඔබ ජාතියේ ඉහළම ගෞරවය ලැබිය යුතුය. අපගේ පැත්තෙන් යුද්ධය නිසා පීඩාවට පත් සියළු විරුවන්ගේ පවුල් වල සාමාජිකයින්, ආබාධිත වූ රණවිරුවන් සහ පුනුරුත්ථාපනය වෙමින් සිටින රණවිරුවන් වෙනුවෙන් සියළු සුභසාධන ක්‍රියාවලින් මෙන්ම ඔවුන්ගේ ජීවනෝපාය ස්ථාවර කිරීමට ද අඛණ්ඩව සහයෝගය ලබාදෙනු ලබන.” බවද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි තවදුරටත් සඳහන් කළේය.

“ත්‍රස්තවාදයට එරෙහි සටනේදී තුවාල ලබා පීඩා විඳින රණවිරුවන්ගේ ජීවිතයේ වටිනාකම සැබවින්ම වටහාගත් අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අගමැතිතුමන් යුද්ධ හමුදාව ආධාර ඉල්ලා සිටින සෑම අවස්ථාවකම ආරක්‍ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඔවුන්ගේ සුභසාධන කටයුතු සාක්‍ෂාත් කර ගැනීමට ක්‍රියාකාරිව දායක වූ බව මම ඉතා අවංකව ඔබට පැවසිය යුතුය. එබැවින්, අතිගරු ජනාධිපතිතුමන්ගේ දූරදර්ශී නායකත්වය ඇතිව තම ස්වාමියා, පියා අහිමි බිරින්දෑවරුන්, දරුවන් සහ තුවාල ලබා සිටින රණවිරුවන් අන් කිසිවෙකුටත් වඩා සුභසාධන ප්‍රතිලාභ ලබනු ඇතැයි තමා විශ්වාස කරන.” බවද යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් සෞඛ්‍ය බලධාරින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ අනෙකුත් සියළුම පාර්ශවකරුවන්ගේ සම්බන්ධීකරණයෙන් කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීම පිළිබඳව නිවැරදි සහ ස්ථීර තීරණ ගනිමින් කටයුතු කිරීම සබැඳිව ත්‍රිවිධ හමුදා සේනාවිධායක අතිගරු ජනාධිපතිතුමන්ට සිය කෘතඥතාවය පළ කළේය. “එසේ නොවුනේනම්, අප සියල්ලන්ටම තවත් බොහෝ අභියෝග සහ දූෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවනු ඇත. අද වනවිට, අපගේ සංඛ්‍යාලේඛණ වල මෙන්ම රටේ කිසිදු ප්‍රජාවන් අතර ආසාදිත පුද්ගලයෙකු වාර්තා නොවන බැවින් මේ වෙනුවෙන් අප සිදුකළ කැපවීම අද වනවිට සුවිශේෂි පිළිගැනීමකට මෙන්ම ඇගයීමකට ලක්ව ඇත.”

කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් විදේශ රටවල සිරව සිටි ශ්‍රී ලාංකිකයින් 7,000 කට වැඩි පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වාගෙන ඇති බව අප මතක තබා ගත යුතුය. කුඩා පිරිසකගෙන් සමන්විත ජාතියක් වන අපට ඔවුන් සියල්ලන්ම මෙරටට ගෙන්වීමට අසීරුය. එමෙන්ම, මෙරට තුළ පවතින නිරෝධායන මධ්‍යස්ථාන ගණන අනුව එම කටයුතු විධිමත්ව සිදු කළයුතු බව” ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදී, අවධාරණය කළේය.

“අතිගරු ජනාධිපතිතුමා අපේක්‍ෂා කළ පරිදි අපට නැවත ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යය ආරම්භ කිරීමට කාලය එළඹ තිබේ. ගොඩනැගිලි, ක්‍රීඩාපිටි, ක්‍රීඩා සංකීර්ණ, මහ මාර්ග සහ පාසල් යටිතල පහසුකම් වැනි සංවර්ධන කටයුතු සඳහා යුද්ධ හමුදාව යොදවා ඇත. අපේ භටපිරිස් එම කටයුතු සඳහා දක්‍ෂ බලවේගයක් සහ ජාතියේ ඵලදායීම ශ්‍රම බලකාය වන බැවින් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට ඔවුන්ට හැකියාව තිබේ. අපගේ වීරෝදාර රණවිරුවන්ට කළ හැකි ලොකුම ගෞරවය ලබා දිය හැක්කේ අපට කළ හැකි පරිත්‍යාගයෙන් පසුව පමණක් බව” ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න පිළිගැනීමේ කථාව ඉදිරිපත් කරනු ලැබිණි. තවද, මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් උත්සවය සඳහා සහභාගී වූ වීරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් සමඟ සුහද පිළිසඳරක නිරත වීමෙන් සහ සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටිමින් මෙම අවස්ථාවට තවත් ගෞරවයක් සහ වැදගත්කමක් එක් කළේය.

මීට අමතරව, දහවල් කාලයේදී වරකාපොල ප්‍රදේශයේ වෙනම ස්ථානයන්හී පිහිටි පූජනීය ස්ථානවලදී යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් බෞද්ධ, කතෝලික, හින්දු සහ ඉස්ලාමීය ආගම් නියෝජනය කරමින් ආගමික වතාවත් ද සිදුකරනු ලැබිණි. මෙම සැමරුම් උත්සවයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වමින් ඉරිදා (23) දින පැවැත්වෙන හීල් දානමය පූජාවක් තුලින් එම අනුස්මරණ වැඩසටහන් නිමාවට පත්වනු ඇත.

මෙම සැමරුම් උත්සවය සඳහා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරින් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරින්, සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූ අතර මීට සමගාමීව වෙනත් ස්ථානයන්හී පැවති වැඩසටහන් සඳහා තවත් පිරිසක් ද සහභාගී වූහ. Running sneakers | Sneakers Nike