Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2019 15:35:02 Hours

‘දියකාවා යුද අභ්‍යාසය X – 2019’ සැප්තැම්බර් මස පැවැත්වීමට සියලු කටයුතු සුදානම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස දහවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්‍ෂකයින් 100 ක්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 03 දින ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව අද (26) දින සන්ධ්‍යාවේ කින්ග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.

නුඳුරේදී පැවැත්වීමට නියමිත ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය’ සහ ‘දියකාවා යුද අභ්‍යාසය - X’ පිළිබඳ අවධානය යොමු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මුලසුන හෙබවූ මෙම මාධ්‍ය සාකච්ඡාවේ සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි, පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු, කමාන්ඩෝ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි, විශේෂ බලකා බලසේනාධිපති කර්නල් ජේ.පී.සී පීරිස්, ගෲප් කපිතන් දිනේෂ් ජයවීර සහ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීයෙකු සහභාගි වූහ.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ පිළිබඳ අභ්‍යාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ඉදිරිපත් කිරීමක් මගින් මාධ්‍යයට විස්තර කළේය.

ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසයේ වැදගත්කම පැහැදිලි කරමින් අභ්‍යාසය සමඟ එක්වී ඵලදායී අත්දැකීම් හුවමාරු කරගැනීමට සහ නව උපාය මාර්ග පුහුණුවීමට හැකි බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී පැවසීය. මෙම අවස්ථාවෙහිදී නිකුත් කරන ලද සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදී 2019 සැප්තැම්බර් 3 සිට 24 දක්වා කාලය තුළ පැවැත්වෙන යුද අභ්‍යාසයේ සවිස්තරාත්මක තොරතුරු පහතින් දැක්වේ;

අනාගත පරපුර වෙනුවෙන් මෙන්ම විදේශීය හමුදා සාමාජිකයින් හා සහභාගීවන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ දැනුම සම්ප්‍රේරණය කිරීමට සහ යුධමය අත්දැකීම් හුවමාරු කරගැනීමට අතිශය පුළුල් සහ වඩාත් පරිපුර්ණ පුහුණු අභ්‍යාසයක් ලෙස වසර ගණනාවක් පුරා මෙම ක්ෂේත්‍ර පුහුණු යුද අභ්‍යාසය පවත්වනු ලබයි.

2019 සැප්තැම්බර් මස 24 වන දින අවසන්වීමට නියමිත මෙම යුද අභ්‍යාසය, ඕනෑම හදිසි අවස්ථාවකදි භටපිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂ ක්‍රියාන්විත බලකායන් න්‍යායාත්මක රාමුවක් තුල ක්‍රමවත්ව යෙදවීම සඳහා සැලසුම් කර ඇති අතර එය නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරු පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිතය.

21 වන ශතවර්ෂය වනවිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්‍ෂක තර්ජනයන් වන රාජ්‍ය විරෝධි සහ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය වර්ථමානයේ පොදු ප්‍රවිෂ්ඨයක් බවට පත්ව ඇති මෙම අසම්මිතික ගැටුම්කාරී තත්ත්වයේ බලපෑම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වමින් මෙම වසරේ යුද අභ්‍යාසය දියත් කිරීමට සැලසුම් කර ඇත.

මූලික වශයෙන් සැලසුම් සකස් කිරීම, පූර්ව සුදානම, තාක්‍ෂණික භාවිතය, සමායෝජනය, අණදීම, පාලනය, යුධ උපක්‍රමය, ශිල්පීය ක්‍රම සහ කාර්යය පටිපාටියන් මෙන්ම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආදිය පිළිබදව මෙම අභ්‍යාසයේ දී පුළුල් අවධානයක් යොමු කරනු ලැබේ.

දියකාවා යුද අභ්‍යාසය මෙම වසරෙහි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත අභ්‍යාස අධ්‍යක්‍ෂක මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ඇතුළු විශේෂ කමිටුවක පූර්ණ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලබයි. මෙම යුද අභ්‍යාසය සරල සමාරම්භක උත්සවයකින් අනතුරුව මින්නේරියේ ස්ථාපිත කර ඇති මෙහෙයුම් මුලස්ථානයේ දී අඟහරුවාදා (සැප්තැම්බර් මස 03) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන මෙම අභ්‍යාසය සඳහා යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙබළුන්, නාවික හමුදා සෙබළුන් සහ ගුවන් හමුදා සෙබළුන් සහභාගි වන අතර, මෙහිදි විශේෂ ක්‍රියාන්විත බලකායට අයත් භටපිරිස් යුද උපක්‍රම, යුද න්‍යායන් සහ යුද පිළිවෙත් න්‍යායාත්මක ක්‍රියාන්විත රාමුවක් තුල ප්‍රායෝගීකව ක්‍රියාත්මක කරන අයුරු පුහුණු කෙරේ. 

මලයාසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, බංගලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, එක්සත් රාජධානීය, සහ සිම්බාබ්වේ යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් ද මෙම යුද අභ්‍යාසය සඳහා සහභාගිවන බව ද තහවුරු කර ඇත. මෙම යුද අභ්‍යාසයේදී, විශේෂ ක්‍රියාන්විත අභ්‍යාස විස්සක් පමණ ක්‍රියාවට යෙදවීම තුලින් සහභාගිවන දෙස් විදෙස් හමුදා භටයින්ට එම මුලික න්‍යායාත්මක ක්‍රමෝපායන් ප්‍රායෝගීකව අත්දැකීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනු ඇත.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) හී අවසන් ප්‍රහාරත්මක යුද අභ්‍යාසය යුද, නාවික සහ ගුවන් හමුදාවන්ගේ සහාභාගීත්වයෙන් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස සැප්තැම්බර් 23 වන දින කුච්චවෙලි ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත. එම යුද අභ්‍යාසයේ අවසන් අධියර නිමාවීමෙන් අනතුරුව, 2019 සැප්තැම්බර් මස 24 වන දින අභ්‍යාසය පිළිබඳ පසුකථනයක් පැවැත්වීමෙන් පසු 'දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ හී සමාප්තිය සටහන් කෙරෙණු ඇත.

ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරාජයට පත් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හැකියාවන් යථාතත්ත්වයෙන් පවත්වාගෙන යාමේ අරමුණ පෙරදැරීව ඕනෑම අවස්ථාවකට සහ ඕනෑම අනාගත අභීයෝගයකට මුහුණදී රටෙත් එහි ජනතාවගෙත් පූර්ණ ආරක්‍ෂකයා ලෙස පෙනීසිටිම යන ආදී තත්ත්වයන් ස්ථාවරව පවත්වාගෙන යාම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අරමුණ වී ඇත. Nike air jordan Sneakers | Men's Sneakers