Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th June 2019 13:10:11 Hours

යුද්ධ හමුදා කෝප්‍රල්වරියගේ නවෝත්පාදනයට දකුණු කොරියාවේ දී රිදී පදක්කමක්

කොරියාවේ කාන්තා නව නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නවෝත්පාදන ප්‍රදර්ශනය - 2019’ ජූනි මස 20 දින සිට 23 දින දක්වා පැවැත්විණි. එහිදී, ලෝකයේ රටවල් 38 ක් නියෝජනය කරන නවෝත්පාදන තරඟකරුවන් සියගණනක් අභිබවා යමින් ‘කාන්තා සනීපාරක්‍ෂක තුවා සහ ආරක්‍ෂිතව බැහැර කරන අනෙකුත් ජෛව අපද්‍රව්‍ය කාර්යක්‍ෂමව දහනය කිරීමේ යන්ත්‍රයක්’ නිපද වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාන්තා සෙබළ ලාන්ස් කෝප්‍රල් ජේ.සී.අයි. නිශාන්ති නවෝත්පාදන තරඟයේ ඉංජිනේරු අංශයේ රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද ‘සහසක් නිමැවූම් 2018’ ජාතික නව නිපැයුම් හා නවෝත්පාදන ප්‍රදර්ශනයේ දී ප්‍රථමවරට නිර්මාණාත්මක නවෝත්පාදනයක් ඉදිරිපත් කර රන් පදක්කමක් දිනාගත් 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජේ.සී.අයි. නිශාන්ති ඉන් අනතුරුව මීට දින කිහිපයකට පෙර දකුණු කොරියාවේ සෝල් නුවර දී පැවැති තරඟයට ඉදිරිපත් විය.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව විසින් ඇයගේ නව නිපැයුම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව සකස් කර යුද්ධ හමුදාව නියෝජනය කරමින් ‘කොරියා ජාත්‍යන්තර කාන්තා නව නිපැයුම් ප්‍රදර්ශනය - 2019’ (KIWIE) සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

රිදී පදක්කමක් හිමිකරගත් ලාන්ස් කෝප්‍රල් ජේ.සී.අයි. නිශාන්ති ඉකුත් බදාදා (26) දින සන්ධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තෙටුපලෙන් දිවයිනට පැමිණි අතර එහිදි, යුද්ධ හමුදා කාන්තා බලකායේ ස්වේච්ඡා සම්බන්ධිකරණ නිලධාරී ලුතිනන් කර්නල් සමන් හෙට්ටිආරච්චි, පර්යේෂණ විශ්ලේෂණ ව්‍යාපෘති හා සංවර්ධන ශාඛාවේ මාණ්ඩලික නිලධාරී I ලුතිනන් කර්නල් විරාජ් කරුණාරත්න සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී I (අතිරේඛ) මේජර් නයෝමි රත්නායක ඇතුළු කාන්තා සෙබළියන් කිහිපදෙනෙකු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. Authentic Nike Sneakers | Jordan Release Dates , Iicf