Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2016 09:03:41 Hours

රණවිරුවන් හට වීර ක්‍රියා පදක්කම් ප්‍රදානය කිරීම ඉතා උත්කර්ශවත් අන්දමින්

2009 මැයි මසට පෙර තම දිවි නොතකා ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදා විරුවන් වෙනුවෙන් පරම වීර විභුෂණය (පීඩබ්ලිව්වී), වීරෝදාර විභූෂණය (ඩබ්ලිව්වී), වීර වික්‍රම විභූෂණය (ඩබ්ලිව්ඩබ්ලිව්වී), රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම (ආර්එස්පී) යන ආදි පදක්කම් පිරිනැමිමේ උත්සවය සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාළාවේ දී පවත්වන ලදි.

එමෙන්ම සම්භාවනීය අමුත්තා ලෙස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අතර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

මෙම පදක්කම් ප්‍රදානෝත්සවයේ දී යුද හමුදාවේ විරුවන් 222 ක්, නාවික හමුදාවේ විරුවන් 45 ක් සහ ගුවන් හමුදාවේ විරුවන් 33 ක් සඳහා පදක්කම් පිරිනමන අතර, ඒ අතරට යුද්ධයේ දී සිය ජිවිත පූජා කළ රණවිරුවන් ද ඇතුලත්වේ. එම පදක්කම් ඔවුන්ගේ ඥාතීන් වෙත පිරිනැමිම මෙහිදි සිදු කෙරේ. ශ්‍රී ලංකා භුමියෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමට කටයුතු කළ විරුවන්ගේ අසමසම එඩිතර බව හා වගකීම මැනවින් ඉටු කිරීම වෙනුවෙන් ඔවුන් ඇගයීමට පීඩබ්ලිව්වී, ඩබ්ලිව්වී, ඩබ්ලිව්ඩබ්ලිව්වී, ආර්ඩබ්ලිව්පී සහ ආර්එස්පී පදක්කම් මෙහිදි පිරිනමන ලදි.

ඒ අනුව යුද හමුදාවේ රණවිරුවන් තිදෙනෙකු සඳහා පරම වීර විභුෂණය (පීඩබ්ලිව්වී), රණවිරුවන් අටදෙනෙකු වෙත වීරෝදාර විභූෂණය (ඩබ්ලිව්වී), රණවිරුවන් හැට එක් දෙනෙකු වෙත වීර වික්‍රම විභූෂණය (ඩබ්ලිව්ඩබ්ලිව්වී), රණවිරුවන් එක්දහස් හත්සිය තිස් නවයක් වෙත රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී) සහ රණවිරුවන් හයදහස් එකසිය පනස් හතක් රණ ශූර පදක්කම (ආර්එස්පී) හිමි අතර මෙහිදි අතිගරු ජනාධිපතිතුමා, ආග්‍රාමාත්‍යතුමා සහ සම්භාවනීය අමුත්තන් විසින් විශේෂීත වූ පදක්කම් ප්‍රදානය කරන ලදි. ඉතිරිය රෙජිමේන්තු මට්ටමින් පසුව ප්‍රදානය කරනු ලැබේ.

ජාතික ගීය ගායනා කරමින් මියගිය රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා සංස්කෘතික කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද රණ බෙර හඩ මධ්‍යයේ එදින වැඩසටහන ආරම්භ කෙරිනි.

ශ්‍රී ලංකා හමුදාවන්හි උසස්ම පදක්කම වන පරම වීර විභූෂණය පිළිබඳව ප්‍රකාශ පත්‍රය කියවීමෙන් අනතුරුව මියගිය මේජර් ඩබ්.එම්.අයි.එස්.බි. වලිසුන්දර, මියගිය සැරයන් ඒ.එම්. අනුර, මියගිය ලාන්ස් කෝප්‍රල් කේ.ජි.එම්.රාජපක්ෂ යන පරම වීර විභුෂණය හිමි රණවිරුවන් තිදෙනා වෙනුවෙන් ඔවුන්ගේ ළඟම ඥාතීයා වේදිකාව වෙත කැඳවා එම පදක්කම පිරිනමන ලදි. ස්වකීය ජීවිතයට ද ආත්ම ආරක්ෂාවට ද සිදු විය හැකි උපද්‍රව ගැන නොතකා සිය සඟයන්ගේ ජීවිත ආරක්ෂාව නොහොත් සිය බලකායේ කාර්ය අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා සක්‍රිය සේවා කාලය තුල දී ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණපාමින් වික්‍රමාන්විත වූ ද, අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූ ද ක්‍රියාවන්හි පෞද්ගලිකවම යෙදෙන්නාවූ ද අයවලුන් හට මෙම පදක්කම පිරිනැමේ.

ඉන් අනතුරුව, විරෝදාර විභූෂණය පිළිබඳව ප්‍රකාශ පත්‍රය කියවීමෙන් අනතුරුව සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක විසින් ගෞරවාන්විතව පදක්කම්ලාභීන් වෙත මෙම පදක්කම පිරිනමන ලදි. විරෝදාර විභූෂණ පදක්කම දෙවන උසස්ම පදක්කම වන අතර, මරණාභීමුඛ වූ අයෙකුගේ හෝ අයවලුන්ගේ ජීවිතය/ජීවිත බේරා ගැනිමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණු පෙරදැරීව ස්වකීය ආත්ම ආරක්ෂාවට ද සිදු විය හැකි උපද්‍රව ගැන නොතකා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමා විසින්ම කරන ලද වික්‍රමාන්විත වූ ක්‍රියා සඳහා මෙම පදක්කම පිරිනැමේ.

ඉන්පසු වීර වික්‍රම පදක්කම පිරිනැමිම ආරම්භ විය. මෙය ශ්‍රී ලංකා හමුදාවන්හි තෙවන උසස්ම පදක්කම වන අතර, සක්‍රිය සේවයේ යෙදී සිටිය දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සතුරාට මුහුණ පා සිට සඟයන්ගේ ජිවිත ආරක්ෂා කිරිමේ හෝ සිය බලසේනාවේ කාර්ය අරමුණු මුදුන් පත් කර ගැනීම පහසුකරවීමේ අභිප්‍රායෙන් ආත්ම ආරක්ෂාව ගැන නොතකා තමා විසින්ම කරන ලද වික්‍රමාන්විත ක්‍රියා සඳහා මෙම පදක්කම පිරිනැමේ.

ඉන් අනතුරුව රණ වික්‍රම පදක්කම හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් හට පිරිනැමු අතර, තම තමන් විසින් ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලිකව හෝ සාමුහිකව කරන ලද වීර ක්‍රියාවන් අරඹයා මෙම පදක්කම පිරිනමන ලදි.

ඉන් අනතුරුව රණ ශුර පදක්කම පිරිනැමිම සිදු කළ අතර, සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක් වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම පදක්කම පිරිනමනු ලැබේ.

තවද එහිදි සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම උත්සවය අමතන ලදි. අනතුරුව ‘රත්නදීප ජන්ම භූමි’ දේශාභීමානි ගීතය වාදනයත් සමඟින් උත්සවයේ අවසානය සනිටුහන් විය.

මෙම අවස්ථාව සඳහා හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ගෞරව සම්මානලාභීන්, මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගි වූහ.

bridge media | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp