Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th June 2025 19:09:00 Hours

26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජයග්‍රහණයන් ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දකුණු කොරියාවේ ගුමි හි පැවති 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙරට නියෝජනය කරමින් කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් 2025 ජුනි මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවූ අතර, එහිදී එතුමන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසුමට ලක්කළේය.

කාන්තා ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සහ පිරිමි ක්‍රීඩකයින් හය දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම ලද ජයග්‍රහණයන් එහිදී ඇගයීමට ලක් කරනු ලැබීය. ඒ අනුව, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් ආර්. නදීෂා සහ කාන්තා සෙබල එම්.එච්.ජේ උත්තරා කාන්තා මීටර් 4x400 සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනාගැනීම, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එම්.ආර් විජේසූරිය මීටර් 10,000 ධාවන ඉසව්වෙන් 6 වන ස්ථානයට පත්වෙමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීම, 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලලත් නිලධාරී II එච්.කේ.කේ. කුමාරගේ මීටර් 400 ඉසව්වෙන් සහ මීටර් 4x400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීම වැනි ජයග්‍රහණ මඟින් ජාත්‍යාන්තරය තුළ ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් හිමිකර දෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම, විනය සහ ජාතිය වෙනුවෙන් සිදුකල සේවය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළකළේය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණ අගයමින් විශේෂ සමරු තිළිණ සහ මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානය කරමින් ජාත්‍යාන්තර වශයෙන් මෙවැනි ජයග්‍රහණ ලබාගැනීමට ඔවුන් දිරිමත් කර ඉදිරි තරඟ සඳහා ද සිය සුභ පැතුම් පිරිනැමීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආ‍ර් කන්නන්ගර RSP ndc ද සහභාගී විය.