Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th April 2025 11:02:34 Hours

ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවලිය - 2025, ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් මස 04 දින නාරාහේන්පිට, යුද්ධ හමුදා ටෙනිස් පිටියේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගි වූහ.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සහභාගී විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc ගේ අධීක්‍ෂණය යටතේ මෙම තරඟාවලිය පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන තුමන්ව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් කමිටුවේ සභාපති විසින් පිළිගන්නා ලදී.

සම්මාන ප්‍රදානෝත්සවයට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ටෙනිස් කණ්ඩායම් අතර ප්‍රදර්ශන තරඟයක් පැවති අතර, එහිදී එම ක්‍රීඩකයින්ගේ කුසලතාවයන් සහ ක්‍රීඩාශීලීත්වය ප්‍රදර්ශනය කරනු ලැබීය.

මෙම තරඟාවලියේදී, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් 56 දෙනෙකු 2025 මාර්තු මස 25 දින සිට 28 දින දක්වා කාණ්ඩ 07ක් යටතේ තරඟ වැදුණු අතර, එහි සමස්ත ශූරතාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ද අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ද හිමිකර ගන්නා ලදී.

ටෙනිස් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස සලකනු ලබන අතර, එයට කුසලතා, විනය සහ ක්‍රීඩාවට ගරු කිරීම යන ගුණාංග ඇතුලත් වේ. මෙවැනි තරඟාවලියන් මඟින් ත්‍රිවිධ හමුදාවේ එකමුතු බව හා ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා වැඩි දියුණු කිරීමට අවස්ථාව හිමිවෙයි.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදා ටෙනිස් කමිටුවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.