Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2025 08:31:24 Hours

යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය - 2025, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

යුද්ධ හමුදා වර්ණ රාත්‍රිය - 2025, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 1 දින කොළඹ 07, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. පසුව, යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදී.

උත්සවය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මාණ්ඩලික ප්‍රධාන සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් වර්ණලාභීන් වෙත වර්ණ ලාංඡන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් තෝරාගත් වර්ණලාභීන් පිරිසකගේ සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත වර්ණ ලාංඡන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

ජාත්‍යන්තර, ජාතික සහ යුද්ධ හමුදා මට්ටමින් දැක්වූ විශිෂ්ඨ ජයග්‍රහණයන් ඇගයීමට ලක්කරමින් ක්‍රීඩා අංශ 26 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 දෙනෙකු වෙත මෙහිදී වර්ණ ප්‍රදානය කෙරිණි.

උත්සවය සමාප්තියේ, යුද්ධ හමුදා ක්‍රීඩා කමිටුවේ සභාපති විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූ අතර, උත්සවය සමාප්තියේ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ විසින් ස්තූති කතාව පවත්වන ලදී.