Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2025 08:24:43 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩී.පී වෙලගෙදර RSP USP psc IG සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 සැප්තැම්බර් මස 07 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැඳුනු මේජර් ජෙනරල් ධම්මික ප්‍රියන්ත වෙලගෙදර පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් සිය මූලික හමුදා පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1992 දෙසැම්බර් මස 27 දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 19 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 මාර්තු මස 29 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ මේජර් ජෙනරල් ඩී.පී වෙලගෙදර RSP USP psc IG යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, 6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 17 වන බතරොයියේ ඛණ්ඩභාර නිලධාරි, යුද්ධ හමුදා පුහුණු පාසලේ ඛණ්ඩභාර නිලධාරි, 6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 23 වන බතරොයියේ බතරොයි අණදෙන, 9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 29 වන බතරොයියේ බතරොයි අණදෙන, ස්වාධීන ලොකේටින් බතරොයියේ බතරොයි අණදෙන, 14 රොකට් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරි පුහුණු අංශයේ නිලධාරි අණදෙන, 14 රොකට් රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 143 රොකට් බතරොයියේ බතරොයි අණදෙන, 11 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (පුහුණු), යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සැලසුම්), 17 (ආධාරක) රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි අධ්‍යයන අංශයේ උපදේශක, 8 මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) හමුදා මාණ්ඩලික නිලධාරි (U2), යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ එක්සත් ජාතීන්ගේ අංශයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (අතිරේක), යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා පුහුණු අණසක උපායමාර්ගික සහ මූලධර්ම අංශයේ මාණ්ඩලික නිලධාරි 1 (උපායමාර්ගික සහ මූලධර්ම), යුද්ධ හමුදා පුහුණු අණසක උපායමාර්ගික සහ මූලධර්ම අංශයේ කර්නල් (උපායමාර්ගික සහ මූලධර්ම), නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සාමසාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ සාමසාධක මෙහෙයුම් භාර නිලධාරි, 571 පාබල බලසේනාවේ බලසේනාධිපති, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධීකරණ නිලධාරි සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් රණශූර පදක්කමෙන් තෙවරක් පිදුම් ලබා ඇති අතර සිය කීර්තිමත් හා පක්‍ෂපාතී සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය හමුදා දිවිය තුළ, ඒකක පරිපාලන පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, පැරෂුට් මූලික පාඨමාලාව - පාකිස්ථානය, කාලතුවක්කු තරුණ නිලධාරි ක්ෂේත්‍ර පාඨමාලාව - ඉන්දියාව, මල්ටිබැරල් රොකට් ලෝන්චර් පාඨමාලාව - පාකිස්ථානය, උසස් කාලතුවක්කු පාඨමාලාව - ඉන්දියාව, දීර්ඝ කාලතුවක්කු මාණ්ඩලික පාඨමාලාව - ඉන්දියාව සහ කාලතුවක්කු බලඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.‍

මීට අමතරව, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝලීය තොරතුරු පද්ධති සහ යෙදවුම් පාඨමාලාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා ලෝක කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ආපදා විශ්ලේෂණ, කළමනාකරණ සහ අවම කිරීම පිළිබඳ විද්‍යාවේදී උපාධිය වැනි උසස් අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ද සපුරා ඇත.