Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2025 15:21:37 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය අර්ධද්වීපයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG දෙදින නිල සංචාරයක් සඳහා 2025 මාර්තු මස 24 දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සංචාරය අතරතුරදී, ශ්‍රී නාග විහාරස්ථානයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව, යාපනයේ රදගුරු මන්දිරය වෙත යනු ලැබූ යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය රදගුරු පදවියේ විකා ජනරාල් ජෝසප්දාස් ජෙබරත්නම් පියතුමන් හමු වූ අතර අනතුරුව, නල්ලූර් කෝවිලේ ප්‍රධාන කුරුක්කල් මයිකුණ්ඩාල් ස්වාමි බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන්, යාපනයේ චාරිකාවක නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුවතා මධ්‍යස්ථානවල නේවාසික සාමාජිකයන්ව කන්කසන්තුරේ තල්සෙවන යුද්ධ හමුදා සුභසාධන නිකේතනයේ දී හමු වූ අතර එහිදී, ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

එදින සන්ධ්‍යාවේ, යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය, වරණි මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත වරණි Ontrium-U.K. ක්‍රීඩාගාරයේ මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි විය. 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 523 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ සහ 5 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

මෙම සංචාරයේ දෙවන දිනයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය, කොඩිකාමම් දකුණ ප්‍රදේශයේ වෙසෙන තුරෙයිසිංහම් රජින්දාස් මහතා ඇතුළු සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිවසක් විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා සහභාගි විය. මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු 7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත සිදුකරනු ලැබීය.

දින දෙකක සංචාරයේදී සමාප්තිය සනිටුහන් කරමින් 52 පාබල සේනාංක මූලස්ථානය වෙත යනු ලැබූ යුද්ධ හමුදාධිපතිතුමන් එම ප්‍රදේශයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් ක්‍රියාන්විත සූදානම, කාර්යක්‍ෂම පරිපාලනය සහ භටපිරිස්හි සුභසාධන කටයුතුවල වැදගත්කම පිළිබඳව අවධාරණය කරනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ සුහද පිළිසඳරක ද නිරතවිය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.