Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2025 21:03:59 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත ගජබා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන ලෙස ධූරයේ කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත ගෞරවාචාර දැක්වීමේ උත්සවයක් 2025 මාර්තු මස 21 දින සාලියපුර, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි මාණ්ඩලික ප්‍රධාන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුර ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, මාණ්ඩලික ප්‍රධාන විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් ඩබ්ලිව්.අයි.වී.කේ.එම් විමලරත්න RWP RSP VSV USP psc ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව, මාණ්ඩලික ප්‍රධාන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුර ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ මාණ්ඩලික ප්‍රධාන එහිදී, නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සුහද කතාබහක ද නිරත විය.

ඉන් පසුව, මාණ්ඩලික ප්‍රධාන විසින් එම රෙජිමේන්තුවේ නිලධාරි නිවස්න බහුකාර්ය ශාලාවේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් අමතමින්, වෘත්තීය නිපුණතාවය සඳහා අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව අවබෝධයක් ලබා දෙන ලදී.

උත්සවයේ කටයුතු අවසන් කරමින්, මාණ්ඩලික ප්‍රධාන විසින් ගජබා රෙජිමේන්තුවේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නවතමයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද බැඩ්මින්ටන් පිටිය විවෘත කරමින් එහි සමරු ඵලකය නිරාවරණය කරන ලදී. මෙම අවස්ථාවට ගජබා රෙජිමේන්තුවේ මන්ත්‍රණ සභා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගී වූහ.