17th March 2025 11:57:17 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සහ පාලන කටයුතු පිළිබඳ සොයා බැලීමේ පියවර යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc, 2025 මාර්තු මස 12 දින 9 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
ඒකකය වෙත සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව, භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන භටපිරිස් අමතමින්, පුද්ගලික සහ ජාතික අභිවෘද්ධිය සඳහා විනය, දරාගැනීමේ හැකියාව, අචාර ධර්ම, සමබල ආහාර වේලක් ලබාගැනීමෙන් ශාරීරික යෝග්‍යතාවයට බලපාන ආකාරය පිළිබඳව අවධාරණය කළේය. එහිදී, පාරිසරික තිරසාරභාවය වෙනුවෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා සහාය ලබාදෙන ලෙසත් භටපිරිස්ගෙන් ඉල්ලා සිටියේය.
නිල සංචාරයේ කටයුතු අවසානයේදී, ඒකකයේ මෙහෙයුම් කටයුතු පිළිබඳව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන දැනුවත් කරනු ලැබූ අතර පසුව, නිලධාරි නිවස්නයේදී විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබීය.