Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2025 08:34:21 Hours

දිවයින පුරා පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් ඉළුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි

‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා පිහිටි පාසල් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් අද (පෙබරවාරි මස 20) දින ඉළුක්ඕවිට, බප/හෝ ඉළුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගීය සහ පාසල් ගීය ගායනා කිරීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්විය. එම විද්‍යාලීය විදුහල්පති වසන්ත උදයසිරි මහතා විසින් පිළිගැනීමේ කථාව පවත්වමින් මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව පැහැදිළි කළේය. ඉන් අනතුරුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය හා තාක්‍ෂණික දැනුම භාවිතා කරමින් සිදුකරනු ලබන මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවල ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මුල්ගල තැබීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, ගුරු භවතුන්, දෙමාපියන් සහ පාසල් සිසු සිසුවියන් රැසක් සහභාගි වූහ.