17th February 2025 10:17:23 Hours
අඛණ්ඩව 58 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය ඉරිදා (පෙබරවාරි මස 16) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානය අසළින් ආරම්භ විය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු psc Hdmc ගේ මඟපෙන්වීම මත පැවති මෙම මාර්ග ධාවන තරඟය බත්තරමුල්ල සිට පනාගොඩ යුද්ධ හමුදා ජනපදය දක්වා කිලෝමීටර් 22 ක දුර ප්‍රමාණයකින් සමන්විත වූ අතර, ඒ සඳහා කාන්තා කෙටි දුර ධාවන ක්‍රීඩිකාවන් 22 දෙනෙකු ඇතුළු රෙජිමේන්තු 21 ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 111 දෙනෙකු සහභාගි වූහ.
එදින උදෑසන 6.00 ට ආරම්භ වූ මැරතන් ධාවන තරඟය දියත උයන, බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය සහ හබරකඩ ඔස්සේ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණය අසලින් අවසන් කෙරිණි.
මැරතන් ධාවන තරඟයේ සමාප්තිය පැවති ස්ථානය සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc, විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.
තරඟයේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:
සමස්ත ශූරතාවය
(පිරිමි කාණ්ඩය) - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව
සමස්ත ශූරතාව
(කාන්තා කාණ්ඩය) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය
පිරිමි කාණ්ඩය
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ආධුනික සෙබල එම්.එස්.ඒ ප්‍රනාන්දු
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.ඩී.එස්.ඩී ගුණසේකර
තෙවන ස්ථානය - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් කේ.ජී.වී.ඩී කාරියවසම්
කාන්තා කාණ්ඩය
ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.සී.එස් හේරත්
දෙවන ස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එම්.එන් නිදර්ශනී
තෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.එස්.එන් බණ්ඩාර