14th February 2025 13:26:49 Hours
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ජී.එස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී සහ පශ්චාත් යුද සමයේදී අභියෝගාත්මක භූමිකාවන්හි නිරත වෙමින් දැක්වූ කැපවීම සහ ආදර්ශමත් සේවය පැසසුමට ලක්කළේය. තවද, විශ්‍රාම දිවියට එලඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම පවුලේ සාමාජිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් දිරිගැන්වීම් සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය. එමෙන්ම, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් ද සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1991 ජනවාරි මස 2 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ජී.එස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 35 යටතේ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1992 අගෝස්තු මස 29 දින ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2024 සැප්තැම්බර් මස 30 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 පෙබරවාරි මස 18 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ ධූරය හෙබවිය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, සිලාවතුර, 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකා අභ්‍යන්තර ආරක්‍ෂක ඛණ්ඩයේ ඛණ්ඩභාර නිලධාරි, 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩභාර නිලධාරි, යුද්ධ හමුදා පුහුණු පාසලේ උසස් පාබල බලඇණි පුහුණු කණ්ඩායමේ උපදේශක, සටන් පුහුණු පාසලේ උපදේශක, සන්නාහ සන්නද්ධ බලසේනා මූලස්ථානයේ සංඥා නිලධාරි, 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ කාර්යයේ නියුතු විධායක අධිකාරි, 53 පාබල සේනාංක මූලස්ථානයේ සංඥා නිලධාරි, 55 පාබල සේනාංක මූලස්ථානයේ නිලධාරි අණදෙන (විද්‍යුත් සංග්‍රාමික), 4 රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ විධායක අධිකාරි, හිටපු බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.ඩබ්ලිව්.බී සෙනෙවිරත්න (විශ්‍රාමික) යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ අධිසහයක වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි අංශයේ නිලධාරි උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි අංශයේ විධායක අධිකාරි, 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරි අණදෙන, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ක්‍රියා සහ පුහුණු), යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, 55 සහ 11 පාබල සේනාංකයන්හි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (වෘත්තීය සැලසුම් අංශය), 7 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, 21 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) මාණ්ඩලික නිලධාරි, 653 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ වැනි ධූරයන් ද එතුමන් විසින් සාර්ථකව හොබවා ඇත.
එතුමන් සිය සේවා කාලය තුළ දැක්වූ සුවිශේෂී, කීර්තිමත් සහ පක්‍ෂපාතී සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.
එතුමන් සිය හමුදා දිවිය තුළදී, උසස් පාබල බලඇණි පුහුණු උපදේශක පාඨමාලාව, මොරටුව විශ්වවිද්‍යාලය වෙතින් පවත්වනු ලැබූ භූගෝලීය තොරතුරු පද්ධති මූලික පුහුණු පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ඔරියන්ට් ඇකඩමි පුද්ගලික ආයතනය වෙතින් පවත්වනු ලැබූ පරිගණක පාඨමාලාව, තරුණ නිලධාරි (සංඥා) පාඨමාලාව - ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හමුදා සම්බන්ධීකරණ පාඨමාලාව - ඉන්දුනීසියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.
මීට අමතරව, විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා ලෝක කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව වැනි උසස් අධ්‍යාපනික සුදුසුකම් ද සපුරා ඇත.