11th February 2025 21:24:25 Hours
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රෝද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී සහ පශ්චාත් යුද සමයේදී අභියෝගාත්මක භූමිකාවන්හි නිරත වෙමින් දැක්වූ කැපවීම සහ ආදර්ශමත් සේවය පැසසුමට ලක්කළේය. තවද, විශ්‍රාම දිවියට එලඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම පවුලේ සාමාජිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් දිරිගැන්වීම් සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1991 ජනවාරි මස 2 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලා අංක - 35 යටතේ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1992 අගෝස්තු මස 29 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2024 සැප්තැම්බර් මස 30 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 පෙබරවාරි මස 15 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජිම්නාස්ටික් කමිටු සභාපති යන ධූරයන් හෙබවිය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, 6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 62, 63 සහ 64 යාන්ත්‍රික බලඝණයන්හි ඛණ්ඩභාර නිලධාරි, 8 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බුද්ධි නිලධාරි, හිටපු බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එච් සමරතුංග (විශ්‍රාමික) ගේ අධිසහයක, 8 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ විධායක අධිකාරි, 8 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 82 කාරක බලඝණයේ ඛණ්ඩභාර නිලධාරි, 8 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 82 හා 83 කාරක බලඝණයන්හි නිලධාරි අණදෙන, ශ්‍රි ලංකා ඉංජිනේරු පුහුණු පාසලේ නිලධාරි අණදෙන (පුහුණු), 11 කාරක බලඝණයේ සහ 1 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරි අණදෙන, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (පුහුණු), 8 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, 1 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මූලස්ථාන බලඝණයේ නිලධාරි අණදෙන, 6 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රි ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, විශේෂ කාර්ය සේනාංක මූලස්ථානය - 3 හි වැඩබලන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා), ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකාරක, 1 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි, 52 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), යුද්ධ හමුදා මූලස්ථානයේ මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති, 141 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපළ හා භඨනිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, 12 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් රණවික්‍රම පදක්කමෙන් සහ රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති එතුමන් සිය සේවා කාලය තුළ දැක්වූ සුවිශේෂී, කීර්තිමත් සහ පක්‍ෂපාතී සේවය වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන් ද පිදුම් ලබා ඇත.
එතුමන් සිය හමුදා දිවිය තුළදී, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලාව, ඒකක ගිණුම්කරණ නිලධාරි පාඨමාලාව, සන්නද්ධ ගැටුම් නීතිය සහ මානව හිමිකම් පිළිබඳ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පුහුණු පාඨමාලාව, බිම්බෝම්බ ක්‍රියාකාරී කළමනාකරණ පාඨමාලාව, ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව, බිම්බෝම්බ සඳහා තාක්‍ෂණික සූදානම පිළිබඳ ක්‍රියාකාරී සැලසුම් පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ උපදේශක පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උසස් පුනරීක්‍ෂණ පාඨමාලාව, සන්නද්ධ ගැටුම් නීතිය පිළිබඳ උසස් පුනරීක්‍ෂණ පාඨමාලාව, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ I සහ II වන මට්ටමේ පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ක්‍රියාමාර්ග III මට්ටමේ පාඨමාලාව, රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී සහ න්‍යෂ්ටික ප්‍රතිචාර II මට්ටමේ පාඨමාලාව, තරුණ නිලධාරි ඉංජිනේරු පාඨමාලාව - පාකිස්තානය, ඒකාබද්ධ නිලධාරි බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ හමුදා ප්‍රේරණ පුහුණු පාඨමාලාව - හයිටි සහ නාගරික ප්‍රදේශ ප්‍රවාහන කළමනාකරණ පාඨමාලාව - සිංගප්පූරුව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.