Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2025 18:47:07 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 පෙබරවාරි මස 08 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, පසුව, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව, මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහර දැක්විය. අනතුරුව, එම නිල සංචාරය සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයට පෙනී සිටියේය.

ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ( ක්‍රියාන්විත) විසින් ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාන්විත සහ ඉදිරි සැලසුම් පිළිබඳව එතුමන් දැනුවත් කළේය.

භටපිරිස් අමතමින්, යුද්ධ හමුදාධිපතිතුන්, ආඩම්බර පුරවැසියෙකු ලෙස කැපවීමෙන් හා ආඩම්බරයෙන් තම ආදර්ශමත් සේවය නිසි අයුරින් සිදුකරීමට දිරිමත් කළ අතර, සන්නද්ධ හමුදාවන් තුළ එකමුතුකම, විනය සහ අඛණ්ඩ සංවර්ධනයේ වැදගත්කම එතුමන් අවධාරණය කළේය. තවද, ජාතියේ ආරක්‍ෂකයින් පමණක් නොව සමාජයේ ආදර්ශමත් චරිත ලෙස සෑම නිලධාරියෙකුගේම සහ සෙසුනිලයෙකුගේ කාර්යභාරය ද ඔහු ඉස්මතු කරමින් වගකිවයුතු පුද්ගලයෙකු ලෙස, රාජකාරියේදී සහ ඉන් පිටතදී ඉහළ සදාචාරාත්මක ප්‍රමිතීන් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කළේය.

තවද, කැලලක් විය හැකි ක්‍රියාකාරකම්වලට ගොදුරු නොවී සොල්දාදුවෙකු ලෙස අභිමානවත්ව සමාජය තුළ කටයුතු කරන ආකාරය පැහැදිළි කළේය. විශේෂයෙන් මාර්ගගත සූදුවෙහි අන්තරායන් පිළිබඳව අනතුරු අඟවමින්, සන්නද්ධ හමුදා සාමාජිකයන් ලෙස ඔවුන්ගේ යහපැවැත්ම, විනය සහ කාර්යක්‍ෂමතාවයට හානි කළ හැකි දේවල් වලට යොමු වීමෙන් වැළකී සිටීමටත්, ඔවුන්ගේ වෘත්තීය වගකීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් එතුමන් යුද්ධ හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අතර සමරු ඵලක හුවමාරුවක් සිදු විය.

නිවාස අවශ්‍යතා සහිත පවුලකට සහයෝගයක් ලබාදීමේ අරමුණින් මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් වවුනියාව ඇටඹගස්කන්ද ප්‍රදේශයේ පදිංචි එස්.ඩී. සුරේෂ් කුමාර මහතා සහ ඔහුගේ පවුලේ අය වෙනුවෙන් අලුතින් ඉදි කරන ලද නිවසේ යතුර භාර දෙන ලදී. මෙම නිවස සුධර්මාරාමය මහා විහාරයේ මූල්‍ය දායකත්වයෙන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්වල ශ්‍රම දායකත්වය මත ඉදිකරන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් සුධර්මාරාම මහා විහාරයට පැමිණ විහාරාධිපති පූජ්‍ය ඇටඹගස්කන්ද කලයින තිස්ස අභිදාන නායක ස්වාමීන් වහන්සේ හමුවිය.පසුව, එතුමන්, මඩුකන්ද ශ්‍රී දළදා විහාරට පැමිණ ආශිර්වාද ලබා ගැනීම සඳහා විහාරාධිපති පූජ්‍ය මුවටගම ආනන්ද හිමියන් හමුවිය.

එම අවස්ථාවෙන් පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට එක් වූ අතර, අනතුරුව එතුමන් නිලධාරි නිවස්නයේ දී නිලධාරින් අමතා තම නිල සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සටහන් පොතේ සටහනක් තැබීය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් සහභාගි වූහ.