Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2025 23:27:19 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන රණවිරු ඇපරල් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමට සහභාගි වෙයි

රණවිරු ඇපරල් කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩල සාකච්ඡාව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් 2025 ජනවාරි මස 30 දින පැවැත්විය.

එම අවස්ථාවට සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තුමන්ව රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ජී.ඒ.එන්.බී මහතුවක්කාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, එතුමන් විසින් රණවිරු ඇපරල් ආයතනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළේය.

පසුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් සමඟ එක්ව කර්මාන්ත ශාලාවේ සියලුම නිෂ්පාදන අංශ නැරඹීය. තවද, නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර, භටපිරිස් අමතමින් යුද්ධ හමුදාවේ කාර්යක්‍ෂමතාව සහ උත්සහයන් ශක්තිමත් කිරීම සඳහා කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ දායකත්වය බෙහෙවින් අගය කළේය.

අනතුරුව, නිලධාරි නිවස්නයේ දී පැවති සියලු නිලධාරින්ගේ සුහඳ සාකච්ඡාවකින් දිනයේ කටයුතු අවසන් විය. අවසානයේදී රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායකතුමන් විසින් සභාපතිවරයාට සහ කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයන්ගේ සේවය අගයමින් සංකේතාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි. පසුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තුමන් විශේෂ අමුත්තන්ගෙ පොතේ සමරු සටහනක් තැබීය.

කළමනාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාකච්ඡාව සඳහා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ ආර්එස්පී, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්.කේ අබේසිංහ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගි වූහ.