Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th February 2025 23:27:01 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි දිසානායක මහත්මිය බදාදා (පෙබරවාරි මස 5) දින පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල - 3 සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරතවූහ.

එම සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙනයාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් අනතුරුව, එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් දෙදෙනෙකු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

පසුව, එතුමන් රැස්ව සිටි පිරිස සමඟින් සුවතා නිකේතන පරිශ්‍රයේ ඇති නේවාසික කාමර, රෝහල, ආයුර්වේද රෝහල සහ අභිමන් ශිල්ප පියසෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරතවිය.

ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එක්ව නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදෙනු ලැබූහ.

මෙම සංචාරය සනිටුහන් කරමින්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් දෙදෙනෙකු විසින් එම සුවතා නිකේතනයේ රණවිරුවන් විසින් නිර්මාණය කරන ලද අත්කම් නිර්මාණයක් සහ සිතුවමක් යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා වනිතා ඒකකයේ සභාපතිනිය වෙත පිළිගැන්වූහ.

සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර, යුද්ධ හමුදාධිපතිතුමන් එම රණවිරුවන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, අභිමංසල - 3 සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.ආර්.එස් ධර්මරත්න යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.