17th January 2025 15:20:32 Hours
වර්තමානයේ අප රට මුහුණ දී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා දැඩි ස්වයං විනයක් පවත්වාගනිමින් සැබෑ කැපවීමකින් යුතුව අපගේ යුතුකම ඉටු කළයුතු බවත්, වගකීමෙන් සහ වගවීමෙන් ක්‍රියා කළයුතු බවත් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) කොළඹ යුද්ධ හමුදා රෝහලේ සිදුකළ නිරීක්‍ෂණ සංචාරය අතරතුරදී නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් ඊයේ (ජනවාරි මස 16) දින ප්‍රකාශ කළේය.
යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී සහ රෝහල් බලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. අනතුරුව, රෝහලේ වාට්ටු කිහිපයක් සහ අනෙකුත් පහසුකම් පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වීමෙන් පසු රෝහල් අධ්‍යක්‍ෂතුමන් විසින් සිදුකළ දැනුවත් කිරීමේ හමුවකට ද එතුමන් සහභාගී විය.
යුද්ධ හමුදා රෝහල තුළින් ඉටුවන විශිෂ්ඨ සේවාව ඇගයූ වැඩබලන ආරක්‍ෂක අමාත්‍යතුමන් දූෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය පිළිබඳ අවධාරණය කළේය. එමෙන්ම, සියළු පුරවැසියන්ගේ දෛනික ජීවිත වලට අහිතකර බලපෑම් ඇතිවීමට හේතු වී තිබෙන මෙම සමාජීය හා ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට නම් නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එතුමන් ප්‍රකාශ කළේය. එකී අරමුණු මුදුන් පමුණුවාගැනීම සඳහා රජය වෙතින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන හඳුන්වා දී තිබෙන බවද එතුමන් වැඩිදුරටත් සඳහන් කළේය.
පසුව, වැඩබලන ආරක්‍ෂක අමාත්‍යතුමන් යුද්ධ හමුදා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝහල වෙත පැමිණ සිටි පිරිස් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.
සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා රෝහලේ සිදුකළ ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රෝහලේ වෛද්‍ය හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සහභාගී වූහ.
(මූලාශ්‍රය : ආරක්‍ෂක අමාත්‍යාංශය)